තලහිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු තෙබුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම පාසලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි වියේ පසුවන දරුවෙක පාසලේදී දනගස්වා ඔහුගේ කටන සහ පිටට පහරදුන් බවට පොලීසිය ලද පැමිණිල්ලකට අනුවයි.

එම විද්‍යාලයේ 08 වන වසරේ ඉගෙනුම ලබන එම දරුවා නව පාසල් වාරය ආරම්භ කළ ඉකුත් 20 වනදා පන්ති භාර ගුරුවරිය වෙත කේක් එකක් ලබාදී තිබෙනවා.

දරුවා විසින් එම කේක් එක තනි අතකින් ගුරුවරිය වෙත ලබාදී ඇති අතර එය සැකකාර විදුහල්පතිවරයා දැක ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව පන්තිභාර ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙස පවසා විදුහල්පතිවරයා විසින් එම දරුවාගේ පිටට සහ කණට පහරදී ඇති බවටයි මවුපියන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

දරුවාගේ කනෙන් ලේ වහනය වනු දුටු මවුපියන් එම දරුවා හොරණ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට රැගෙන ගොස් තිබෙනවා.

එහෙත් දරුවාට ප්‍රතිකාර කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති අතර එම වෛද්‍ය මධ්‍යස්ථානවලින් උපදෙස් ලබා දී ඇත්තේ කළුතර නාගොඩ රෝහලට දරුවා රැගෙන යන ලෙසයි.

සිසුවා එම රෝහල කරා රැගෙන යාමෙන් අනතුරුව පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර එහිදී සිසුවාගේ කන් බෙරයට හානි වී ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බව මවුපියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුව සැකකාර විදුහල්පතිවරයා අද දින නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

55 හැවිරිදි වියේ පසුවන සැකකාර විදුහල්පතිවරයා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.