ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත , එරටින් පිටුවහල් කර එවා තිබෙනවා.
මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැගවී සිටින අතරතුර , මැදපෙරදිග යුද්ධයේ , ඉරානය විසින් ප්‍රහාර සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාර ගත කර , පසුව මෙලෙස දිවයිනට පිටුවහල් කර එවා තිබුණා.
මොවුන් අතරින් එක් අයෙකු කපුරු බණ්ඩාරගේ දොන් චතුර දිල්රුක්ෂාන් නොහොත් මෝදර නිපුනගේ මල්ලී නොහොත් මෝදර චතුර වනවා. කොළඹ 15 , මෝදර මාවතේ පදිංචි මොහු 25 හැවිරිදි අයෙක්.
අනෙක් පුද්ගලයා බ්ලූමැන්ඩල් සංඛ නැමති අයෙක් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තකරු පැවසුවේ . ඔහු ද මෙරට තුළ අපරාධ රාශියක් සදහා පොලිස් විමර්ශන සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයෙක් වනවා.
මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රී 08.58 ට අබුඩාබි නුවර සිට , එයාර් ඒෂියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා..
මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව , මෝදර චතුර , කොළඹ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා. බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තකරු වැඩිදුරටත් පැවසුවේ.



