බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම තවත් සංවිධානාත්මක කල්ලි ගැටුමක් බවට තොරතුරු ලැබී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර පසුව ඔහු මිය ගියා.
මෙලෙස මියගොස් ඇත්තේ 55වන වියේ පසුවන්නෙක්.
ඔහු අවන්හලක හිමිකරුවකු බවද කියවෙනවා.
එසේ තිබියදී නෙත් නිවුස් වෙත ලැබුණු තොරතුරුවලින් කියවෙන්නේ මියගිය මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කොස් මල්ලි නමැත්තාගේ දුරින් ඥාතියකු බවයි.
ඒ අනුව එම ඥාතීත්වය නිසා කොස් මල්ලි පාර්ශවයට රිදවීම සඳහා වෙඩිතැබීම සිදුකර ඇතැයි සැක කෙරෙනවා.
කොස් මල්ලි පාර්ශ්වය සමග කාලයක් තිස්සේ ගැටුම් ඇතිකර ගන්නා බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශවය විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි සැක කෙරෙන්නේ.
මීට පෙර ඉකුත් ඉරිදා දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී වෙඩිතැබීමක් සිදුවුණා.
එහිදීද පුද්ගලයකු තුවාල ලැබූ අතර එලෙස තුවාල ලැබූ පුද්ගලයා සැන්ඩෝ නැමැත්තාගේ පියා බවයි පසුව කියවුනේ.
බඩෝවිට අසංක සහ සැන්ඩෝ පාර්ශවයට රිදවීම සඳහා කොස් මල්ලී පාර්ශවය විසින් එම වෙඩිතැබීම මෙහෙය වූ බවටද සැක පළ වුණා.
ඒ අනුව ඊට පළිගැනීමක් ලෙස අද කෙරුණු වෙඩිතැබීම සැලසුම් කර ඇති බවටයි සැක කෙරෙන්නේ.
අද වෙඩිතැබීමේදී තුවාල ලැබූ පුද්ගලයා වෙඩිතැබීමට ඉලක්ක වන විට ඔහුගේ නිවාඩු නිකේතනය ඉදිරිපිටයි රැඳී සිටියේ.
ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇතැයිද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මේ අතර බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, නවගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.




