ඇදහැළෙන මහ වැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 7ක මේ වනවිට වාන් දොරටු විවෘත කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව තත්පරයට ඝන අඩි 8,400 බැගින් දැදුරුඔයට ජලය මුදාහැරෙනවා.

එමෙන්ම ලු‍ණුගම්වෙහෙර ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර රාජාංගනය ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත.

ඉන් වාන් දොරටු 4ක් අඩි 2 බැගින්ද, අනෙක් වාන් දොරටු 2 අඩි 3 බැගින්ද විවෘත කර ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 4,542ක ජලය මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

සෙසු ජලාශවල ජල මට්ටමද සියයට 65 කින් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.

මේ අතර දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පස්වරු එකෙන් පසුව ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.