මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය යෙදී සිටියදී ආන්දෝලනාත්මක ලෙස මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා සිදුවූ වූවක් බවට ඒ පිළිබද පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද සක්ෂි ලබාදෙමිනුයි මේ බව කියා සිටියේ.
මෙම නඩුවට අදාලව ඉකුත් නඩුවාරයේදී මරණකරුගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගැනුනා. අද සක්ෂි ලබාගැනුනේ අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක සහ විමර්ශනවලදී නිල සුනක්ඛයා මෙහෙයවූ සැරයන්වරයා ඇතුළු විමර්ශකයින්ගෙන්.
කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ ඉදිරියේ මෙම සාක්ෂි විභාගය සිදුකෙරුණා.
සාක්ෂි මෙහෙයවනු ලැබුවේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසින්.
මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බල නහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද ඔහු විසින් විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා පැවසුවේ බල නහර ලෙස හැඳින්වෙන ශරීරාංගයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති බවයි.
ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමගද සාකච්ඡා කළ බවත් මෘත දේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ බවත් ඔහු කියා සිටියා.
එහිදි මෘත දේහයේ තිබූ තුවාල තමන් විසින්ම කපාගෙන සිදුවූ තුවාල බවට විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම තීරණය කළ බවයි අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා වැඩිදුරටත් පැවසුවේ.
තුවාලවලින් රුධිර වහනයවීමේදී ඇතිවූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවටද විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම තීරණය කළ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සාක්ෂි විභාගය මැදදී පෙන්වා දුන් මරණකරුගේ ඇඳුම්, සෙරෙප්පු හා පිහිය ද වෛද්‍යවරයා විසින් හඳුනාගත් අතර තුවාලවූ ස්ථානවල ඡායාරූප අධිකරණය වෙත ඉදිරිපත් කළා.
කෙසේවෙතත් රසපරීක්ෂක වාර්තා ද පැමිනි පසු එහි ස්ථාවරයද සලකා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 30 වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබාදෙන ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ නඩුව යළි ලබන 12 දින කැඳවීමට නියම කළා.




