මොරකොටන්චේන - කළුවන්කේණි මාර්ගයේදී සිදුවූ සැලසුම් සහගත ඝාතනයක තොරතුරු අනාවරණ කර ගැනීමට සන්දිවේලි පොලිස් ස්ථානය සමත් වී තිබෙනවා.

එම මාර්ගයේදී පාපැදිකරුවෙකු ගමන් ගත් පුද්ගලයෙකු කැබ් රථයක ගැටී ඇති බවට තොරතුරු ලැබුණු බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ  වයස අවුරුදු 65 ක්  වූ කළුවන්කේනි ප්‍රදේශයේ  පදිංචිකරුවෙක් බවට අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.

එම මරණය සැක සහිත බවට මරණකරුගේ බිරිඳ හා දරුවා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අංශ කිහිපයක් යටතේ අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බවයි පොලීසිය පැවසුවේ.

එහිදි අනාවරණ වී ඇත්තේ කැබ් රථ රියදුරා විසින් සැලසුම් සහගතව අනතුරක් සිදුකර එම පාපැදිකරු ඝාතනය කර ඇති බවයි.

සැකකරු හා මරණකරු අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වූ බවද සන්දිවේලි පොලිසිය පැවසුවා.

ඒ අනුව පලාගිය අවුරුදු 24 ක් වන කැබ් රථ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි සන්දිවේලි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.