ලාෆ්ස් ගෑස් මිල ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දැමූ බවයි එම සමාගම පැවසුවේ.

එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,245ක් වනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පැවසුවේ.

කෙසේවෙතත් මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළේ.

ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් වලංගු වන බවද එම සමාගම පැවසුවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910ක්. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890ක් වනවා.