නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ධනුෂ්කොඩි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සංචාරක මෙහෙයුමකදී වෙරළ ආරක්ෂක පොලිසියේ නිලධාරීන් කළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන්ගේ හැසිරීම පිළිබඳ සැක සිතී පරීක්ෂාව සිදු කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනාම වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
ඔවුන්ගෙන් අයෙකු 31 වන වියේද අනෙක් පුද්ගලයා 30 වන වියේ ද පසුවන්නන් වනවා.
ඉකුත්දා වත්තල සිදුවූ වෙඩිතැබීමට ඔවුන් දෙදෙනා සම්බන්ධ බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
වෙඩි තැබීමෙන් පසු බෝට්ටුවකින් ඔවුන් ඉන්දියාවට පලා ගොස් ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා.
ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණවල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන්ද නඩු පවතින බවටයි තොරතුරු තිබෙන්නේ.
ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ වන විට තිරුචිරාප්පල්ලිහි විශේෂ කඳවුරක රඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය පළ කළ වාර්තාවන්හි සඳහන්.
ඔවුන් දෙදෙනා ඉදිරි සතිය ඇතුළත නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වනවා.
මේ අතර වත්තල සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකාරියක් ඇතුළු සැකකරුවන් 4 දෙදෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුනා.
එම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා එච්.මහේශ් මදුසංක නොහොත් වනාතමුල්ලේ සුමේධ නමැත්තෙකු බවටයි හඳුනාගැනුනේ.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට ප්‍රසාද් රුවන් නොහොත් මෝදර කුඩු රොශාන් නැමැත්තාගේ සමීපතමයෙකු බවද හඳුනාගෙන තිබෙනවා.
පල්ලියවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවැති උපන්දින සාදයක් අතරතුරයි වෙඩිතැබීම සිදුවුණේ.
මෙම උපන්දින සාදය කුඩු රොෂාන් නමැත්තාගේ සහෝදරයාගේ දියණියගේ බවටද තොරතුරු තිබෙනවා.
කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසිනුයි වෙඩිතැබීම සිදු කළ බවට මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ කුඩු රොෂාන් නමැත්තා බවට ද තොරතුරු ලැබුණා.
එච්.මහේශ් මදුසංක නොහොත් වනාතමුල්ලේ සුමේධ නමැත්තාට වෙඩි වැදී ඇත්තේ ඉලක්කය වැරදීමෙන්.
පිස්තෝල වර්ගයේ අවියකින් වෙඩි තැබීම සිදු කර ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණ වුණා.
වෙඩි තැබීමෙන් පසු පලා ගිය සැකකරුවන් ඔවුන් පැමිණි කළු පැහැති මෝටර් රථය ජාඇල අධිවේගී පිවිසුම් මාර්ගයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.




