රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද කියා සිටියා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සුරේෂ් සලේ මේ වනවිට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙනයි.
ඔහුගේ නීතීඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව අද කැදවනු ලැබුවා.
මෙහිදී කරුණු දැක්වූ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කියා සිටියේ 2026 වසරේ මාර්තු මස 24 වනදා මෙම අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවා දායකයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කළ බවයි.
ඒ අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී, අක්ෂි වෛද්‍ය ආදී වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කර තිබෙන බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවා.
"අදාල වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් කර තිබෙන නිර්දේශ මේ දක්වාත් ක්‍රියාත්මක වෙලා නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසිකව පීඩනය සහ දැඩි සාංකාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සියදිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවයකට යොමු විමේ හැකියාව තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා
" ස්වාමීනි.. මේ වෛද්‍ය වාර්තාව අනුව පැහැදිලියි ඔහු වධ හිංසාවට භාජනය වී තිබෙන බව. ඒ වෛද්‍ය වාර්තාවේ ස්ථාන හතක ඒ පිළිබඳව සඳහන් වෙනවා. දැන් ඔහු රඳවාගෙන සිටින ස්ථානය ආරක්ෂිත නොවන බවත් එහි සඳහන්. එම ස්ථානයේ රෝගියාව කළමනාකරණය කිරීමට නොහැකි නිසා ප්‍රතිකාර ලබාදීමටත් හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු සිය දිවි නසා ගැනීමේ සම්භාවිතාවය උග්‍ර වී තිබෙන බවත් වෛද්‍යවරු සිය වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ස්වාමීනි... මේ අවස්ථාවේ ඔහු සිටිය යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙවෙයි. රෝහලක තමයි ඔහු සිටිය යුත්තේ. මේක අපේ අදහසක් නෙවෙයි. ස්වාධීන වෛද්‍ය මතයක්.
ස්වාමීනි... මේ සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයේදී සඳහන් කරලා තිබෙනවා මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක කියලා. ඒ වගේම ඒ කාමරයේ මීයන්ගෙන් කරදර තිබෙනවා. විදුලි පංකාවක් නෑ. සුදු පාට ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා මට ඇඳුම් ඉවත් කරන්න කිව්වා. ඊට පස්සේ සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂාවට ලක් කලා. මට අත් දික් කරන්න කිව්වා. ඉතිරි දේවල් කියන්න ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු තිස් හතක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. මට නෝට් බුක් එකක් දෙන්නෙ නෑ." ආදී වශයෙන් ද සිය සේවාදායකයා වන සුරේෂ් සලේ ප්‍රකාශ කර තිබෙන බවයි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කියා සිටියේ.
මෙම කරණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥවරයා අධිකරණය වෙත ඒත්තුගැන්වීමට උත්සහ කළේ සුරේෂ සලේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට මානසික වශයෙන් රෝගී තත්වයක් තිබුණේ නැති බවත් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දී ඔහු ස්ථිර වශයෙන්ම වධ හිංසා වලට භාජනය වී ඇති බවයි.
මෙවැනි තත්ත්වය යටතේ කෲර වධ හිංසාවට එරෙහි සම්මුති පනත යටතේ පීඩාවට පත්වන පුද්ගලයා වෙනත් ස්ථානයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බවටද ජනාධිපති නීතිඥවරයා තර්ක කළා.
මෙම තත්ත්වය පොලිස්පතිවරයාට වාර්තා කරන ලෙසත් පොලිස්පතිවරයා මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ යුතු බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව නීතිපතිවරයා ස්වාධීනව කරුණු පරීක්ෂා කර බලා වධ හිංසනයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගත යුතු බවයි වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් අද නීතිපතිවරයා පෙනී සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ බවත් එය කණගාටුදායක තත්ත්වයක් බවත් ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කියා සිටියා. ඒ අනුව මෙහිදී සාධාරණයක් ඉටුවේද යන්නද සැක සහිත බවයි ඔහු පැවසුවේ. මෙවැනි ක්‍රියා හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙ මහජනතාව අතර අපකීර්තියට පත්වන බව ද ඔහු පැවසුවා.
අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස්.
" ස්වාමීනි...මේ වෛද්‍ය මණ්ඩලය මේ සැකකරු පරික්ෂා කළේ මැයි මස හතර වනදා. වාර්තාව ඉදිරිපත් කළේ මැයි මස 18 වනදා. මේ සැකකරුව සෑම බදාදා දිනයකම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඒ වගේම සෑම සිකුරාදා දිනකම ස්ථාවර දුරකතනයෙන් මේ සැකකරුට ඔහුගේ බිරිඳට දරුවා සහ මවට කතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා සිදු කරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි?
මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. අද සුරේෂ් සලේ ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිසයි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. මේ හරහා අද දින අභියාචනාධිකරණය ඔවුන්ගේ වේදිකාවක් බවට පත් කරගන්න උත්සාහ කරලා තිබෙනවා." යනුවෙන් පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දීලීප පීරිස් මෙසේ ද කියා සිටියා
" මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාව දීපු වෛද්‍යවරයාට එරෙහිව අධිකරණ නියෝගයකුත් තියෙනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීලා තිබෙන්නේ හඬමින්. ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. යුද්දෙට ගිහිල්ලා වෙඩි තියපු අය නෙවෙයි. මේගොල්ලෝ මිනිස්සුන්ගේ මොල හෝදන කට්ටිය.
2017 - 2019 කාලසීමාව තුළ ස්වයං ඝාතක බෝම්බ කරුවන් 08 දෙනෙකු බැලන්ස් කරපු පුද්ගලයෙක් මෙයා. එහෙම පුද්ගලයෙක් හඬයි ද? ස්වාමීනි. මොහු පතෝල කරලක් නෙවෙයි.
ස්වාමීනි.. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනා. ඔහු වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරලා තිබෙනවා පිරිසක් ඇවිල්ලා ඔහුගේ ඇඳුම් ගලවන්න කිව්වා කියලා. පස්සේ පිරිසක් කකුල් වලට පහර දුන් බවත් ඔහු කියලා තියෙනවා. ඉතුරු ටික කියන්න ලැජ්ජයි කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් පහර දුන්නේ කවුද කියලා කියලා නෑ. ඔච්චර දෙයක් කිව්වට පස්සේ තවත් මොනවද ලැජ්ජ වෙන්න තියෙන්නේ ස්වාමීනි.
වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා ඔහුට කෙටි අමතක වීම් තිබෙන බවට. මේක සාමාන්‍ය තත්වයක්. ඕනෑම අපරාධකාරයෙකුට ඒක තියෙනවා. සීඅයිඩී අත්අඩංගුවේ ඉන්නකොට එයාලට මතක නෑ. එළියට ආවට පස්සේ මතක තියෙනවා. එනිසා මේවා පිළිගන්න බැහැ" යනුවෙන් පැවසුවා.
වැඩිදුරට්ත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සුරේෂ් සලේගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ දක්වා තිබෙන තවත් කරුණු ගැන කරුණු ඉදිරිපත් කළා
" ස්වාමීනී.... මේ පුද්ගලයාට අව පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවකුට තිබෙන රෝගී තත්ත්වයන්. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසිම රෝගයක් නෑ. අත්අඩංගුවේදී ඔහුට එග් රයිස්, බිත්තර රොටි, ෆිශ් ඔයිල්, කිරි පැකට් ,කිරි ටොපි සේරම ලබා දීලා තියෙනවා. ඒවා එකක්වත් කියන්නේ නෑ. මේ වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගේ වාර්තාවක් පිලිගන්න බෑ. මීට පෙර ටිකිරි ජයතිලක විනිසුරුතුමා ඔහුගේ වාර්තාවක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයේදී ප්‍රකාශ කරලා තිබෙනවා ආයේ මට එතනට යන්න බෑ. මට මැරෙන්න හිතෙනවා යනාදී වශයෙන්. ස්වාමීනි... මේකත් සාමාන්‍යයෙන් ඕනෑම අපරාධ කරයෙකුට පවතින මානසික තත්ත්වයක්. සියදිවි නසා ගැනීමේ මානසිකත්වයක් එනවා. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසවා ගැනීමේ තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.
අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මේ වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරු අත්සන් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ සැකකරු පරික්ෂාවට ලක් කරලත් නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අත්සනත් නැහැ. "
යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරණූ දැක්වුවා.
ඒ අනුව අදාල වෛද්‍ය වාර්තාව තමන්ට පිළිගත නොහැකි බවටයි ඔහු තර්ක කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මාර්ගයෙන් නව වෛද්‍ය වාර්තාවක් මෙම සැකකරු සම්බන්ධයෙන් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින්නේ ඒ නිසා බවද ඔහු පැවසුවා.
ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ නැවත කරුණු දැක්වුවා.
" ස්වාමීනී... සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්රවයා මාර්ගයෙන් කැඳවන වාර්තාවක් අපට පිළිගන්න බෑ. මොකද ඔහු දේශපාලන පත්වීමක්. වාර්තාවක් කැඳවනවා නම් අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවිය යුතුයි. අනික මේ මෝසම පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නෑ. "
මෙම කරණූ දැක්වීමෙන් පසු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සහ වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ද අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවන බවයි.
මෙම පුද්ගලයාට ඇතැයි කියන රෝගී තත්ත්වයන් සාමාන්‍ය අත්අඩංගුවට පත්වන ඕනෑම පුද්ගලයෙකුට පවතින මානසික තත්ත්වයක් යැයි ද තර්ක කල ජනාධිපති නීතිඥවරයා මේ සැකකරු සිදු කර තිබෙන කටයුතුවල හැටියට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවද කියාසිටියා.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන 10 වනදා කැඳවීමටයි නියම කළේ. ඉදිරිපත් වූ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.




