සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වූ බව කියන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතු බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
සිවරාජා අනෝජන් නමැති එම තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ යාම පිළිබඳ තමන් දැඩි කණගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවයි අලි සබ්රි මහතා පවසන්නේ.
ඒ, ඔහු සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින්.
රුහුණු මහා කතරගම දේවාලයේ පාද යාත්‍රාවට එක්ව සිටි පිරිස සමඟ සුනඛයෙකු ගමන් කරන ආකාරයත් පසුව කිසියම් පුද්ගලයෙකු අදාළ සුනඛයාට පහරදී හිරිහැර කරන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබුණා.
මරණ දඩුවම නියමවී සිටින සිවරාසා අනෝජන් නැමැති මෙම තරුණයා අදාළ පහරදීම සිදුකළ පුද්ගලයාව විවේචනයට ලක්කරමින් සිය ෆෙස්බුක් ගිණුමට විඩියෝවක් එක්කර තිබූ බවයි වාර්තා වන්නේ.
සෞදි පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්වී ඇත්තේ ඉන් අනතුරුවයි.
ඒ අනුව අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන එම තරුණයා සිය ෆෙස්බුක් ගිණුමේ තැබූ සටහනකින් නබි නායක තුමාට හා ස්ලාම් දහමට අපහාස වූ බවට චෝදනා එල්ල වී තිබුණා.
ඔහු පළකල ෆේස්බුක් විඩියෝව සම්බන්ධයෙන් සවුදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය මගින් අනෝජන්ට එරෙහිව වසර 5 ක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම අභියාචනා ක්‍රියාවලියේදී සිදුවූ අඩුපාඩු සහ විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී තමන් ප්‍රශ්න කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මහතා පැවසුවේ.
කෙසේවෙතත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ග හරහා සවුදි බලධාරීන් සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් අනෝජන් සිවරාසා තරුණයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට ලබා දිය හැකි සියලුම සහාය ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.




