2027 අයවැය අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2027 විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව 2027 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම වෙනුවෙන් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තව රැස්වීමට නියමිතයි.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු  නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන් කුමාරගෙන්

''2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව පස්වරු 1.30ට ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා අයවැය කතාව සඳහා ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට නියමිතයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ලේඛනයද රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.මෙයාකාරයෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ ජාතික ජන බලවේග රජයේ තුන්වන අයවැය ලේඛනයයි. ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයන්ගෙන් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධන ඉලක්ක කරගත් යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බවට දැනටමත් ප්‍රකාශ වී අවසන්. ඒ අනුව රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් අයවැය ලේඛනයක් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තමයි දැනටමත් ප්‍රකාශ වී තිබෙන්නේ. ඊට අමතරව යම් යම් ක්ෂේත්‍ර කිහිපයකට බදු සහන ලබා දීම සම්බන්ධයෙන්ද ප්‍රකාශ වී තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කෙරුණේ. ඒ අනුව එහි තුන්වන අදියර මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇති බවද සඳහන් වනවා. මෙලෙස අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය නොඑසේ නම් අයවැය විවාදය හෙට සිට දෙසැම්බර් 14 වන දා දක්වා දින 26ක් පුරා පැවැත්වීමට නියමිතයි. හෙට සිට නොවැම්බර් 20 දක්වා දින 7ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. නොවැම්බර් 21 වන දා සිට දෙසැම්බර් 14 වන දා දක්වා සෙනසුරාදා දින හතරක්ද ඇතුළුව දින 19ක් විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි. 2027 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 14 වන දා පස්වරු 6.00ට පැවැත්වීමට තමයි සැලසුම් කර තිබෙන්නේ.

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවා.

විශේෂයෙන් අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂ රථවාහන සැලැස්මක් පාර්ලිමේන්තුව අවට සහ අනෙකුත් ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ඨාසය මගින්. විශේෂයෙන්ම අපි කිසිම පාරක් වහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් පොල්දූවේ ඉඳන් වැලිකඩට තියෙන තුන්වෙනි මංතීරුව අවශ්‍ය අවස්ථාවලදී ප්‍රභූන් ගමන් කරන අවස්ථාවල ප්‍රමුඛතාවය ලබා දීලා පාර්ලිමේන්තුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා. රථවාහන නිලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මහජනයාට මේකෙන් බාධාවක් වෙන්නේ නෑ.

අද ඉදිරිපත් කෙරෙන 2027 අයවැය පිළිබද සියළු තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය කතාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් සජීව ලෙස නැරඹීමට ඔබට හැකියි.
අයවැය කතාවේ විශේෂ යේජනා මෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ පිටත සිදුවන සියලු තොරතුරුද නෙත් එෆ් එම් රේඩියෝව, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව, නෙත් නිවුස් ෆේස්බුක් පිටුවෙන් සහ nethnews.lk අපගේ වෙබ් අඩවියෙන් එසැණින් ඔබට වාර්තා කිරීමටද නෙත් නිවුස් කණ්ඩායම සූදානමින් සිටිනවා. විශේෂත්වයක් වන්නේ මෙම සියළු වාර්තා කිරීම් සිදු කරන්නේ විෂය ප්‍රවීණයන් සමග විශේලේෂණ සහිතව වීමයි.
මේ අතර පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙන 2027 ජාතික අයවැය පිළිබද විද්වත් කථිකාවක් නෙත් නිව්ස් සහයෝගයෙන් හෙට සිදුකෙරෙනවා. 2027 ජාතික අයවැය පිළිබද මෙම විද්වත් කථිකාව සංවිධාන කෙරෙන්නේ යුරේෂියා ජාතීන්ගේ සරසවියේ බදු හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ සහතික ලත් වරලත් බදු උපදේශකයන්ගේ සංගමය විසින්. හෙට සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම විද්වත් කථිකාව සිදුකෙරෙනවා.
2027 ජාතික අයවැයෙහි ඇතුලත් ප්‍රධාන ප්‍රතිපත්ති යෝජනා, ආර්ථික බලපෑම් සහ ව්‍යාපාර, බදු ගෙවන්නන් හා සාමාන්‍ය ජනතාව කෙරෙහි විය ඇති විය හැකි බලපෑම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.