කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබූ ගමන් මළු දෙකක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද අළුයම සොයාගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

එම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය , ගමන් මලු දෙක තුළ , සුළං නොවදින ලෙස පැකට් 60 ක් තුළ අසුරා සකස් කර තිබූ බවයි එම අවස්ථාව ආවරණය කළ කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිල පැවසුවේ.

අදාළ කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි තිස් දෙකක් පමණ වන බවටයි සැක කෙරෙන්නේ.

ඒවා තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් ඇති අතර , ගුවන් තොටුපොළ තුළදී ඔහු අත්අඩංගුවට පත් විය හැකි නිසා අදාළ ගමන් මළු දෙක අතහැර දමා පළා යන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහය කර ගනිමින් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ ගුවන් මගියා අනාවරණ කර ගැනීමට විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ.