රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

ඔවුන් ඊයේ රාත්‍රි 7.30 ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළව චරිත් අබේසිංහ, නීතීඥ රඛිත රාජපක්ෂ හා අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

ඉන් අනතුරුව ඊයේ පස්වරුවේ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදි අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 3 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනී අල්ලස් කොමිසමට ලැබුණු නිර්නාමික පැමිණිල්ල අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. මෙම විමර්ශනයේදී දුරකථන සංවාද පටයක් හමුවෙනවා.
ඒ දුරකථන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තකු අතර.
එහිදී සැකකාර චරිත් අබේසිංහ ප්‍රකාශ කරනවා මාකඳුරේ මධුෂ්ට වෙච්ච දේ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා හරක් කටාගේ ඩීඕ ඉවත් කරලා බූස්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට යැවිය හැකි බවට. ඒ සඳහා අවශ්‍ය සහන ලබා දිය හැකි බවත් මේ සැකකරු ප්‍රකාශ කරනවා. මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳවන මදුශානිට දැනුම් දෙනවා.

පසුව 2023 වසරේ මාර්තු මස 25 වනදා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා. එම අවස්ථාවට මිදිගම රුවන් නමැති පුද්ගලයාත් සහභාගී වෙනවා. එහිදී කලින් දැනුම් දුන් පරිදි හරක් කටා නැමැති පුද්ගලයාගේ ඩී.ඕ ඉවත්කර ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසාදීම සඳහා මෙම සැකකරුවන් රුපියල් කෝටි පනහක මුදලක් ඉල්ලා සිටිනවා. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කරනවා. එහිදී හරක් කටාගේ බිරිඳ ප්‍රකාශ කරනවා තමන්ට ඒ තරම් මුදලක් ලබාදිය නොහැකි බවට.

ඒ අනුව එම මුදල කෝටි 20 දක්වා අඩු කරනවා. ඉන් අනතුරුව එම මුදලින් රුපියල් කෝටි දොළහක මුදලක් අත්තිකාරම් වශයෙන් මේ සැකකරුවන් ඉල්ලා සිටිනවා. එම මුදල ලබාදෙන්න හරක් කටාගේ බිරිඳ එකඟ වෙනවා. ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් කෝටි දහයක් සහ පසුදා තවත් කෝටි දෙකක මුදලක් හරක් කටගේ බිරිඳ විසින් ලබාදීම සිදුකරනවා.
මේ මුදල් ලබාදී තිබෙන්නේ ඩිරාම් වලින්. මෙම කරුණ මේ වන විට අත්අඩංගුවේ පසුවන මිදිගම රුවන් නැමැති පුද්ගලයා ලබාදුන් ප්‍රකාශයෙන්ද තහවුරු කර තිබෙනවා. ඊට අදාළව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක්ද අප ළඟදීම අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වගේම නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නමැති පුද්ගලයාත් මේ කාරණය තහවුරු කරමින් ප්‍රකාශ ලබාදී තිබෙනවා. ” යනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය” මෙම මුදල් ලබාගත් පසුව පොරොන්දු වූ පරිදි හරක් කටාගේ ඩීඕ ඉවත්වීම සහ ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සිදුවන්නේ නැහැ. ඒ නිසා එම මුදල් ආපසු ලබා දෙන්න කියලා හරක් කටාගේ බිරිඳ හර්බි නමැති පුද්ගලයාට බලපෑම් කරනවා. ඒ අනුව ඔහු චරිත් අබේසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. එහිදී සැකකරු ප්‍රකාශ කරන්නේ මිලියන දෙසීයක පමණ මුදලක් ලබාදිය හැකි බවත් සෙසු මුදල් ලබාදීමට හැකියාවක් නොමැති බව. ඒ අනුව මේ සැකකරුවන් විසින් මෑතකදී ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට අදාල මුදල ලබා දී තිබෙනවා. පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
ඉන් අනතුරුවයි අල්ලස් කොමිසම මේ විමර්ශනය ආරම්භ කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරක් කටාගේ බිරිඳ වන මදුෂානිගෙන් තවමත් ප්‍රකාශයක් අරගෙන නෑ. ඇය ඉන්දුනීසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඇය විමර්ශනවලට සහාය වෙන්නත් එකඟ වී තිබෙනවා.
එසේම මේ සැකකරුවන් 2023 වසරේ මාර්තු මස 25 වනදා ඩුබායි රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් 2023 වසරේ මාර්තු මස 29 වනදා දිවයිනට පැමිණ තිබෙන බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා වලින් තහවුරු වී තිබෙනවා”යනුවෙන් සඳහන් කළා.

ඉන් පසුව සැකකාර රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” මගේ සේවා දායකයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුට හෙට දිනයේත් මේ අධිකරණයේ නඩුවකට පෙනී සිටින්න තිබෙනවා. ඒ නිසා රිමාන්ඩ් එකේ ඉඳන් තමයි ඔහුට ඒ නඩුවට පෙනී සිටින්න වෙන්නේ . ”යනුවෙන් කියා සිටියා.
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා ” මේ සැකකරු ඇයි හෙට බන්ධනාගාරයේ සිට එන්න ඕන” යනුවෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මේ සැකකරු අද රක්ෂිත බන්ධනාගාර ගත වුනොත් ඔහුට හෙට දින මේ අධිකරණයට එන්න වෙන්නේ බන්ධනාගාරයේ සිට බවට.

ඉන් අනතුරුව වැඩිදුරත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා” මගේ සේවා දායකයා නීතිඥවරයෙක් නිසා ඔහු භාරගත්ත නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල තිබෙනවා. ඔහු රිමාන්ඩ් භාරයට පත් වුණොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේවි.. ඇප ඉල්ලීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සලකන මෙන් මා ඉල්ලා සිටිනවා.
ඊට අමතරව ඔහුට ” ස්ලීප් ඇප්මියා” නැමැති රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තාද මම අධිකරණයට ඉදිරිපත් කරනවා.
එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයකුට බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නැහැ. ඒ නිසා ජීවිත අවදානමක් පවා ඇතිවෙන්න පුළුවන්. මෙම කරුණු සියල්ල සුවිශේෂි කරුණු සේ සලකා මගේ සේවා දායකයාට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඉන් අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්”ස්වාමීනී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බරපතළ අපරාධ චෝදනා සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයින් ලබාදුන් ප්‍රකාශ මත. එවැනි පුද්ගලයින් ලබාදෙන ප්‍රකාශ මත පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීම සුදුසු නැහැ. මගේ සේවා දායකයා හෘදයාබාධයකින් පෙළන පුද්ගලයෙක්. ඔහුට ස්ටෙන්ට් හතරක් දාලා තියෙනවා. තවත් පහක් දාන්න තිබෙනවා. අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට අවාසනාවකට මෙන් වැළදිලා තිබෙනවා.” ඒ නිසා ඒවා සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් පසුව තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටි අරුණ වරුෂ හැන්නදිගේ වෙනුවන් පෙනී සිටි නීතීඥ ගීත් කරුණාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු ඇපමත මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් බවට චෝදනා කළා.

මෙවැනි සිද්ධියකට අදාළව සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. එම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා සිය සේවා දායකයා ඇප මත මුද හරින ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්” මෙම සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීතියට පටහැනි බවට තර්කයක් මතු කර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීත්‍යානුකූල බව අධිකරණය තීරණය කරනවා. ඒ වගේම මේ සැකකරුවන්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් වාර්තා ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවලින් එම රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීම් ඉදිරිපත් වී නෑ. එම නිසා එම වෛද්‍ය වාර්තා සුවිශේෂී කරුණු හැටියට සැලකිල්ලට ගන්න බැහැ” මෙම තත්ත්වය යටතේ සැකකරුවන් විසින් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කලා.

ඒ අනුව සැකකරුවන් ජූලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා ලෙසත් නියම කළා.