බාල වයස්කාර දැරියන් ලිංගික අපහරණය හා දූෂණය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගත හැකි ආකාරයෙන් පවතින නීති යාවත්කාලීන කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රජ් මහත්මිය පවසනවා.
දරුවන් මෙලෙස අනාරක්ෂිත තත්ත්වයට පත් කරන දෙමව්පියන් සඳහා ද නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරිය පැවසුවේ.
බාලවයස්කාර දැරියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ නකල්ස් ප්‍රදේශයෙන් සොයාගැනීමේ සිද්ධිය පාදක කරමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
''පවුල් වලින් අනාරක්ෂිතව අනාරක්ෂිත දරුවන් නැවත නැවතත් අනාරක්ෂිතභාවයට පත් වෙලා, මේ විදියට බාල වයසේදීම මව්වරුන් බවට පත්වීම සමාජයක් හැටියට ලොකු ඛේදනීය තත්ත්වයක්. ඒක දරුවෙකුට වෙන්න තියෙන නරකම දෙයක්. ඒක වැඩිහිටි සමාජය හැටියට, අම්මා තාත්තා හැටියට අපේ පවුල ඇතුළේ අපි තේරුම් ගන්න ඕනේ තමන්ගේ දරුවා ඒ වගේ අනාරක්ෂිත තත්ත්වයකට පත් නොකර ආරක්ෂා කරගන්න පවුල ඇතුළේ සන්නිවේදනය තියෙන්න ඕනේ. පවුල ඇතුළේ දරුවන් රැක ගැනීම තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේකෙදි අපේ නීති පද්ධතිය ඇතුළේ තමන්ගේම පවුල ඇතුළේ දරුවන්ව අනාරක්ෂිත තත්ත්වයට පත් කරන දෙමව්පියන්ටත් අපි නීතියක් අපිට අවශ්‍ය වෙනවා. මොකද මේක තමාගේ පියා අතින්ම තමන්ගේ දරුවන් දූෂණය වන, තමාගේ පියා අතින්ම, ඥාතියා, සහෝදරයා අතින්ම තමන්ගේම බාලවයස්කාර දරුවා, සොයුරිය, බිළිඳිය පවා අපයෝජනයට පත්වන යුගයක් තියෙන්නේ. ඒක නිසා මේකෙදි අපි නීති පද්ධතිය ඇතුළේ මේක මීට වඩා අපි විධිමත්ව හා වගකීම් සහගතව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා.''
පාසල් අධ්‍යාපනය තුළදී දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් , දෙමව්පියන්ද නිවස තුළදී දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ දැනුමක් ලබා දිය යුතු බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රජ් මහත්මිය වැඩිදුරටත් පැවසුවා.
''පාසල් වලදී දරුවන්ට හොඳ ලිංගිකත්ව අධ්‍යාපනයක් දෙන්න ඕනේ. මේකෙදි ඛේදවාචකය තියෙන්නේ, මොන විදිහේ ප්‍රේමණීය සුරංගනා කතා කිව්වත්, දරුවා එක්ක දුක් විඳින්න වෙන්නේ, දරුවෙක් බිහි වෙන්නේ ගැහැනු ළමයාට. එතකොට තමන්ගේ ශරීරය අභ්‍යන්තරයට සිදුවන හානිය, රුධිර වහනය, ආපදාවන්ට ලක්වීම, සංකූලතා, දීර්ඝකාලීනව ශරීරය වියපත් වීම ආදී ප්‍රශ්න ඔක්කොම, අධ්‍යාපනයෙන් පිටමං වීම, තරුණ අවධිය ඉක්මනින් දිය වී හැරී යෑම, ඒ වගේම තමයි අධ්‍යාපනයේ අවස්ථා නැතිවීම, ජීවිතය කඩාවැටීම, අතරමං වීම ආදී සියල්ලට මුහුණ දෙන්න වෙන්නේ මේ ගැහැනු ළමයාට. ඉතින් මේ ගැහැනු ළමයින් ඉන්න අම්මා තාත්තට මම ඉතාම ආදරයෙන් ඉල්ලා හිටිනවා, ඔබේ ගැහැනු දරුවා පරිස්සම් කරගන්න එක වෙනුවෙන් හොඳ ලිංගිකත්ව අධ්‍යාපනයක් පුංචි වයසේ ඉඳන්ම දෙන්න. ඒ ලිංගික අධ්‍යාපනය වගේම මේ රටේ සාමාන්‍ය පොදු නීතියත් දරුවන්ට උගන්වන්න. ඒක නිසා නොදැනුවත්කම නිසා මේ වගේ දේවල් වලට මුහුණ දුන්නම, අවදානම් දරුවන්ගේ ප්‍රමාණය, අවදානම් පවුල් වල ප්‍රමාණය සමාජය ඇතුළෙ වැඩි වෙනවා. ඔවුන් යැපෙන්නන් බවට පත් වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්.''




