දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අයිස් සහ කේරල ගංජා විශාල තොගයක් පොලිස් මෙහෙයුමකදී සොයාගනු ලැබ තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 45යි ග්‍රෑම් 876 ක් සහ කේරලා ගං ජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 235 ක් මෙම නිවසේ සඟවා තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

රඳවුම් නියෝග මත රඳවාගෙන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මෙහෙයුම සිදු කර තිබෙනවා.

වැඩිදුර විමර්ෂණ සිදු කරන්නේද බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයයි.

මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ දින රට පුරා කෙරුණු මෙහෙයුම්වලදී සොයා ගනු ලැබ ඇති අයිස් මත්ද්‍රව්‍ය මුළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 46යි ග්‍රෑම් 463 ක්.

හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක්ද, ගංජා කිලෝ ග්‍රෑම් දහයයි ග්‍රෑම් 482ක්ද සොයාගෙන තිබෙනවා.

ඊයේ දින කෙරුණු මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සන්තකව සිට හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවලට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 911ක්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හත් දෙනෙකු සඳහා  රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර පස්දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් රට පුරා සිදු කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රටින් පලා ගොස් ඩුබාහි සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් ප්‍රධාන පෙළේ සැකකරුවන් 21 දෙනෙකු ඩුබායි රාජයෙන් පිටුවහල් කරන ලදුව අද ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගනිමින් තිබෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Ppoliමෙලෙස ඩුබායිහි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් අතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කුඩු දුමින්ද නොහොත් වනාතේ දුමින්ද නමැත්තාද, තවත් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මහවත්තේ චාමර නමැත්තා ද සිටින බවද වාර්තා වනවා.