Published
2011 වසරේ පාසල් ශිෂ්‍යාවක දුෂණය කිරීමේ චෝදනාවට හින්දු පූජකවරයෙකු වරදකරු කරමින් වවුනියාව මහාධිකරණය විසින් පැනවූ සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.
මෙම දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පූජකවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉවත දමමින් අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුවුණා.
2011 වසරේ අතවරයට පත් මෙම සිසුවිය වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් නැමති සරණාගත කඳවුරේ රැඳී සිටි අතර ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් පසුවූ 17 හැවිරිදි තැනැත්තියක් බවත් නඩු විභාගයේදී අනාවරණය වුණා.
ඒ අනුව ඇය අධ්‍යාපන කටයුතු සඳහා විත්තිකාර පූජකවරයාගේ මුලතීවු, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතු සිදුකළ අතර විත්තිකාර පූජකවරයා ඇයගේ ඥාතියකු බවත් නඩු විභාගයේදී හෙළි වුණා.
2011 වසරේ නොවැම්බර් මස 11 වනදා හෝ ඊට අසන්න දිනයකදී එම දැරිය දූෂණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර දීර්ඝ විභාගයකින් අනතුරුව විත්තිකරු ඒම චෝදනාවලට වරදකරු කෙරුණා.
ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කෙරුණු අතර රුපියල් 5000/- ක දඩයක් ද අධිකරණය විසින් නියම කළා.
ඊට අමතරව රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දි වශයෙන් අතවරයට පත් දැරියට ගෙවිය යුතු බවද අධිකරණය විසින් විත්තිකරුට නියම කරනු ලැබුවා.
එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය තීන්දු කළේ විත්තිකරු වරදකරු කිරීමට වවුනියාව මහාධිකරණය ගත් තීරණය නිත්‍යානුකූල බවයි.
ඒ අනුව ඔහුගේ අභියාචනය ඉවත දමන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
කෙසේ වෙතත් විත්තිකරුට පෙරවැරදි නොමැති වීම සහ පස්දරු පියෙකු වීම යන කාරණා සැලකිල්ලට ගෙන ඔහුට නියම කරන ලද වසර 17 ක සිර දඬුවම වසර 13 ක් දක්වා අඩු කරන බවත් එම සිර දඬුවම විත්තිකරු වරදකරු කළ දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වුණා.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.




