රක්‍ෂිත බන්ධනාගාරගත කළ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිනවා.

ඊයේ පස්වරු 6ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ උන් වහන්සේ එහි එන් වාට්ට්ටුවේ රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින්නේද එම වාට්ටුවේයි.

ඒ අනුව රැදවියන් 10 දෙනෙකු සමග ඥානසාර හිමියන් එම වාට්ටුවේ රදවා සිටිනවා.

වරෙන්තු නිකුත් කර තිබියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා හමුවට ඊයේ ඉදිරිපත් කළා.

උන්වහන්සේට අභියාචනාධිකරණයෙන්, කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය අධිකරණය දැනුම් දුන්නා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ උන් වහන්සේ අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක හිමියන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බව සඳහන් කළා.

උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දෙන ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව තුලින් ද සඳහන් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥ සෙනෙවිරත්න මහතා ඒ අනුව බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව ඥානසාර හිමියන්ව අභියාචනාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා අද දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා උන්වහන්සේව එම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.