ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම බන්ධනාගාරයේ එන් වාට්ටුවේ තවත් රැඳවියන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් සමග ඔහු රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද රදවා සිටින්නේ එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි පැවසුවා.
විවිධ චෝදනා යටතේ රිමාන්ඩ් කළ රජයේ සේවකයන් එම වාට්ටුවේ රදවා සිටින සෙසු රැඳවියන් වනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් රේණුක පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීමට එරෙහිව රේණුක පෙරේරා මහතාට චෝදනා එල්ලවී තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.
සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගියදා මෙම නියෝගය නිකුත් කළා.




