නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ප්‍රදේශ කිහිපයකට දැනට පවතින අධික වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ 73න් 36ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා පවසනවා.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගංඟාවල ජල මට්ටම් සම්බන්ධයෙන් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් පළ කළා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

දිස්ත්‍රික්ක දෙකක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට, අදියර 03 යටතේ එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පැවසුවේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

අදියර දෙක යටතේ දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට විමසිලිමත්ව සිටින ලෙසත් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන වැඩිදුරටත් සඳහන් කළේ.