ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මාරියා ටි්‍රපොඩි මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයේදීයි. එම සාකච්ඡාවේදී දෙරට අතර පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, වෙළඳාම, ආයෝජන, සංචාරක, සංක්‍රමණ සහ ගුවන් සම්බන්ධතා කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ මෑත කාලීනව අත්කරගෙන තිබෙන ආර්ථික ප්‍රගතිය, දේශපාලන ස්ථාවරත්වය සහ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබීම පිළිබඳව ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ද එම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.