ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩින්ග්ස්, කෙන්යාවේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන, Kasuku, CrownBird සහ Envoy ඇතුළු ප්‍රකට ලිපිද්‍රව්‍ය සහ ඉගෙනුම් සන්නාමවල හිමිකාරිත්වය දරමින් කලාපීය වශයෙන් අපනයන සිදු කරන Twiga Stationers & Printers සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය තමන් සතුකර කර ගෙන තිබෙනවා.

හේමාස් සමූහයේ ප්‍රථම ජාත්‍යන්තර අත්කර ගැනීම වන මෙය, ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාරික කටයුතු ගොඩනැගීම සඳහා වන සමූහයේ දිගුකාලීන ක්‍රමෝපායික සැලසුමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.
තවද එමගින්, ඇමරිකානු ඩොලර් බිලියන 136 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහ මිලියන 54 ක ජනගහනයකට හිමිකම් කියන, නැගෙනහිර අප්‍රිකාවේ ඉදිරිගාමී වෙළෙඳපොළක් වන කෙන්යාව තුළ ශක්තිමත් මෙහෙයුම් පදනමක් ගොඩනගා ගැනීමට හැකියාව හිමිවන බවයි හේමාස් සමූහය සදහන් කළේ.

Twiga සමාගම ලිපිද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් සන්නාම ප්‍රාග්ධනයක් මෙන්ම නිෂ්පාදන ධාරිතාවක් සහ බෙදාහැරීම් ජාලයක් ගොඩනගා ගෙන තිබෙනවා.

ඒ අනුව ඉගෙනුම් මෙවලම් නිෂ්පාදන සන්නාමය වන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ පරිපූර්ණ සහ අධ්‍යාපනික පාරිභෝගික අංශය ශක්තිමත් වීමට කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙනු ඇති.