මෙම වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවය මහා භාණ්ඩාගාරය පවසනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පැමිණි මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා පැවසුවේ වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අතර ටර්ගු අධ්‍යක්ෂ තිලක් පඥ්ඥාරත්න මහතා ද ඊට පිළිතුරු ලබා දුන්නා.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා ද මෙහිදී අදහස් පළ කළා.

වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට නොහැකි දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මේ අතර ඉකුත්දා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

ඊට ප්‍රතිචාර දැක්වූ මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒකේ සෙනෙවිරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.