ඉරානය විසින් ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් ටෙල් අවිව් අසල හොලොන් නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉරානය බැලස්ටික් මිසයිල පහක් එල්ල කර ඇති බවත් මිසයිල බලපෑම් පිළිබඳ ක්ෂණික ඇගවීම් නොමැති බවත් ඊශ්‍රායල රජය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නැහැ.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයේ කොම් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉරානයේ විශාලතම බලාගාරයක් වන ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් න්‍යෂ්ටික බලාගාරයේ අනතුරුදායක කාන්දුවීම් කිසිවක් වාර්තා වී නැහැ.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 02 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 04දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කරන බවට ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමෙන් සුළු වෙලාවකට පසුවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තම රට අමෙරිකාව සමඟ සාකච්ඡාවලට එළඹෙන්නේ නැති බව ඉරානය පවසා තිබෙනවා.

එමෙන්ම සිය න්‍යෂ්ටික සැලසුම් සම්බ්න්ධයෙන් ද සාකච්ඡා කිරීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඊශ්‍රායලයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති නැවැත්වූ පසුව ඉරානය විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සලකා බැලීමට සුදානම් බවටයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.