රට දරුණු යුධ ගැටුම් සහ රාජ්‍යතාන්ත්‍රික දේශපාලන වියවුල්වල පැටලී සිටියදී, ඉරාන පාපන්දු කණ්ඩායම අද ලෝක කුසලාන පාපන්දු පිටියේදී නවසීලන්තය සමඟ තරග වැදුණා.

මෙය යුධ ගැටුම් පිළිබඳ සහ රාජ්‍යතාන්ත්‍රික දේශපාලන වියවුල් ගැන තිබූ දැඩි පීඩනය පසෙක දැමූ, සැබෑ ක්‍රීඩාශීලී අත්දැකීමක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නේ.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මෙම තරගය පැවුත්වුණා.

එහිදී දෙවතාවක්ම පසුපසින් සිටියත් අත්නොහළ ක්‍රීඩාව නිසා අවසානයේදී ලකුණු සම කිරීමට ඔවුන්ට හැකි වුණා. තරගයේ අවසන් ප්‍රතිඵලය ගෝල 2 ට 2 ක්.

නවසීලන්තය වෙනුවෙන් පළමු ගෝලය ලබාගත්තේ එලයිජා ජස්ට්.

පළමු අර්ධය මැද භාගයේදී රමීන් රෙසෙයියන් ඉරානය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා.

නැවතත් දෙවන අර්ධයේදී එලයිජා ජස්ට් නවසීලන්තය වෙනුවෙන් තවත් ගෝලයක් ලබා ගනිමින් කණ්ඩායම 2 ට 1 ක් ලෙස පෙරමුණට ගෙන ආවා.

නමුත්, මොහොමඩ් මොහබ්බි හිසෙන් පහරක් එල්ල කරමින් ඉරානය වෙනුවෙන් තවත් ගෝලයක් ලබාගනිමින් නැවතත් ලකුණු සම කළා.

ඉරාන කණ්ඩායමට අද මෙම තරගයට සහභාගී වුණේ අවහිරතා රැසක් ජයගනිමින්.

ඉරාන පුහුණුකරුවන් පිරිසකට ඇමරිකානු වීසා පවා අහිමි වූ අතර, ඔවුන්ට පුහුණුවීම් කිරීමට සිදු වූයේ මෙක්සිකෝවේ සිටයි.

මේ අතර ලොස් ඇන්ජලීස් නුවර අද පැවැති තරගය, පිටිය තුළ ක්‍රීඩාශීලී මුහුණුවරක් ගත්තත්, පිටියෙන් පිටතදී එය දැඩි දේශපාලන උණුසුමක් සහ බෙදීමක් ඇති කිරීමට හේතු වුණා.

ක්‍රීඩා ලේඛනවල මෙය ‘ඉරානය සහ නවසීලන්තය‘ අතර තරගයක් ලෙස සටහන් වුවත්, සැබවින්ම ක්‍රීඩාංගණයෙන් පිටත දැකගත හැකි වූයේ ‘ඉරානයට එරෙහිව ඉරානය‘ තරග වැදීමේ තත්ත්වයක්.

තරගය නැරඹීමට පැමිණි ඉරාන ප්‍රේක්ෂකයන් අතරින් බහුතරයක් නවසීලන්තයට වඩා තම රටේ පාලන තන්ත්‍රයට එරෙහිව හඬ නැඟීම මෙහි විශේෂත්වයයි.

ක්‍රීඩාංගණයෙන් පිටත රැස්ව සිටි සිය ගණනක් වූ ඉරාන විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඇමරිකානු-ඉරාන වැසියන්, ඉරාන ඉස්ලාමීය රජයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කළා.

ඔවුන් ”මේ පාලකයන්ගේ කණ්ඩායම, අපේ කණ්ඩායම නොවේ” යැයි පවසමින් වත්මන් ඉරාන රජය වෙනස් විය යුතු බවට සටන් පාඨ කියමින් විරෝධතාවල නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ෆීෆා ආයතනය විසින් තහනම් කර තිබුණ ද, ඉරානයේ පැරණි විප්ලවයට පෙර පැවැති ”සිංහයා සහ සූර්යයා” සහිත ධජයන් රැසක් ද ක්‍රීඩාංගණය තුළ මෙන්ම පිටත ද ප්‍රදර්ශනය කෙරුණා.

අමෙරිකාව සහ ඉරානය අතර පසුගියදා ඇති වූ සාම ගිවිසුම පිළිබඳව ද මෙහිදී ප්‍රේක්ෂකයන් අතර විවිධ අදහස් මතු වුණා.

ඇතැමුන් පැවසුවේ රජය විසින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙවැනි ක්‍රීඩා උත්සව හරහා සාමාන්‍යකරණය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩාංගණය ඇතුළත සිටි තවත් පිරිසක් පැවසුවේ තමන් ඉරාන රජයට අකමැති වුවත්, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට සහයෝගය දීමට පැමිණි බවයි.

පාපන්දු ක්‍රීඩාව යනු දේශපාලනයෙන් තොර, මිත්‍රත්වය සහ මානුෂීය සබඳතා ගොඩනඟන පාලමක් විය යුතු බව ඔවුන් අවධාරණය කළා