මහියංගණය, සොරබොර වැව පාරේ නිවසක තිබී පිස්තෝල දෙකක්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සහ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සල කිහිපයක් විමර්ශනයකදී සොයාගෙන තිබෙනවා.
මෙම නිවසේ නිවැසියන් පවසන්නේ, ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසේ ජනේල පියනක් විවෘත කර කාමරයක් තුළට පාර්සල කිහිපයක් කිසිවෙකු විසින් දමා ගොස් ඇති බවයි.
ඒ බව මහියංගණය පොලීසියට දැනුම් දී ඇති අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.
නිලධාරීන් පැමිණ නිවසේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා.
එලෙස කෙරුණු පරීක්ෂණයේදී සොයාගැනුණු පිස්තෝල දෙක විදේශ රටක නිෂ්පාදිත ඒවා බවටයි හඳුනාගෙන ඇත්තේ.
මෙම පිස්තෝල දෙකම මිලිමීටර 9 ප්‍රමාණයේ ඒවා බවද හඳුනාගෙන තිබෙනවා.
විමර්ශනයේදී සොයාගැනුණු මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සලවල බර ග්‍රෑම් 250 ක්.
නිවසේ තිබී සොයාගත් පොලිස් නිලඇඳුමට සමාන ඇඳුම් කට්ටල අතර පොලිස් පිරිමි නිලඇඳුම් තුනක්, හිස්වැසුම් හා නිලඇඳුම් සඳහා භාවිත කරන ඉනපටි තිබෙන බවයි විමර්ශකයින් පවසන්නේ.
එමෙන්ම, කාන්තා පොලිස් නිලඇඳුමක්, නිලඇඳුම් සඳහා භාවිත කරන ඉනපටි හා හිස්වැසුම්ද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
මෙම නිවසේ ජීවත්වන්නේ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැහැ.




