ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින ක්‍රිකට් ආරවුල තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙනවා.
ඒ, ආරක්ෂක ගැටළු හේතුවෙන් 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ ඉන්දියාවේ ක්‍රීඩා නොකරන බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් සිය ස්ථාවරය වෙනස් නොකිරීමත් සමගයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග පැවති සාකච්ඡාවකින් පසුව, නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ බංග්ලාදේශයේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස කළ ඉල්ලීම නැවත අවධාරණය කළ බවයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය දරන 2026 පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය පෙබරවාරි 7 වන දින ආරම්භ වීමට නියමිතයි.
තරඟ කාලසටහනට අනුව බංග්ලාදේශය ඔවුන්ගේ පළමු තරඟ තුන කොල්කටාහිදී සහ ඔවුන්ගේ අවසාන කණ්ඩායම් තරඟය මුම්බායිහිදී ක්‍රීඩා කළ යුතු වනවා.
බංග්ලාදේශය, ඉන්දියාවේ ක්‍රීඩා කිරීමේ ගැටලුව මතු වූයේ 2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සංචිතයෙන් බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රෙහෙමාන් ඉවත් කරන ලෙස උපදෙස් ලබා දීමෙන් පසුවයි.
කෙසේ වෙතත්, ඊට කිසිදු නිශ්චිත හේතුවක්ද දක්වා නැහැ.
ඒ අනුවයි දෙරටේ සබඳතා පලුදු වීම ආරම්භ වුණේ. කෙසේවෙතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේදී ඉහළ තර්ජනයක් නොමැති බව පෙන්නුම් කරන ආරක්ෂක තක්සේරුවක් ද ලැබී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.




