ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අනු ශූරතාව වෙනුවෙන් හිමි වූ ත්‍යාග මුදල පසුගිය මැයි මාසයේදී ඉන්දියාව විසින් පකිස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල් වෙත ප්‍රදානය කිරීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් අදාළ මුදල් ත්‍යාගය පිරිනමන බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය තුන් වරක් එකිනෙකා මුණගැසුණු අතර එම තරඟ තුනම පැවති දේශපාලන පසුබිම හේතුවෙන් උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. ඊයේ පැවති අවසන් මහා තරඟයේදී ඉන්දීය කන්ඩායම තියුණු ජයක් හිමි කරගත්තා. තරඟයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ඉන්දීය ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් ප්‍රදානෝත්සවයෙන් අනතුරුව සිය ජයග්‍රහණය සැමරුවේ ආසියානු කුසලානය සිය අත දරා නොමැති වීම විශේෂත්වයක්. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පකිස්ථාන කණ්ඩායමේ නායක සල්මන් අගා ප්‍රකාශ කළේ ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවටද අගෞරවයක් බවයි.