සිරියාවේ ඩැමැස්කස් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයන් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දේව මෙහෙයක් අතරතුර පුද්ගලයෙකු ඇතුළු වී වෙඩි තබා පසුව පල්ලිය තුළ පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා ගත් බවයි වාර්තා වන්නේ.

මේවන තෙක් කිසිදු පාර්ශවයක් ප්‍රහාරයේ වගකීම භාර ගෙන නැහැ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයට IS IS සංවිධානය සම්බන්ධ බවයි සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

ප්‍රහාරකයා IS IS සංවිධානය සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සිරියානු හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහ කර ඉස්ලාමීය නායකත්වයෙන් යුත් රජයක් පත් කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු ප්‍රධාන IS IS ප්‍රහාරය මෙය වනවා.

දේවස්ථානවල පාරිශුද්ධභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින දේ සඳහා සම්පූර්ණ වගකීම භාර ගන්නා ලෙසත්, සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ආගමික නායකයන් විසින් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.