උණුසුම් සටනකින් පසු 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ට්නා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඊජිප්තුව ගෝල 3ට 2ක් ලෙස පරාජයට පත් කරමින්.

අමෙරිකාවේ ඇට්ලන්ටා පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නිමවීමට තවත් මිනිත්තු 12ක් පමණක් ඉතිරිව තිබියදී, ඊජිප්තුව සිය පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දැවැන්තම ජයග්‍රහණය ආසන්නයට පැමිණ තිබුණා.

ඒ, ආර්ජන්ටිනාවට එරෙහිව ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගෙන ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරමින්.

එහෙත් තරගයේ අවසන් විනාඩ් කිහිපය තුල සියල්ල කණපිට පෙරළුලා දැමීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

තරගයේ 79 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියන් රොමේරෝ ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර අනතුරුව, ඊජිප්තු ආරක්ෂක පෙළ දැඩි පීඩනයකට ලක් කරමින් ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනා නායක ලියොනල් මෙසී, ඉන් මිනිත්තු හතරකට පසු 83 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය 2-2ක් ලෙස සම කිරීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා වූයේ අතිරේක කාලයේ දෙවන මිනිත්තුවේදීයි. එන්සෝ ෆර්නැන්ඩස් විසින් හිසින් එල්ල කරන ලද පහරක් දැල වෙත ඇදී ගියේ ආර්ජන්ටිනාවට 3-2ක පෙරළිකාර ජයක් හිමිකර දෙමින්.

කෙසේවෙතත් මෙම තරගයේ විනිසුරු තීරණ කිහිපයක් සම්බන්ධයෙන් විවේචන එලල්වනවා.

ඊජිප්තුව 1-0ක් ලෙස පෙරමුණේ සිටියදී මුස්තාෆා සිකෝ වාර්තා කළ දෙවන ගෝලය, වී.ඒ.ආර්.තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කර අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

එමෙන්ම, ආර්ජන්ටිනාව ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට තත්පර කිහිපයකට පෙර, ආර්ජන්ටිනා සීමාව තුළදී මොහොමඩ් සලාහ්ව නීතිවිරෝධී ලෙස බිම හෙළීමට ලක් කළද ඊට දඬුවම් පහරක් ලබා නොදීම පිළිබඳවද ඊජිප්තු ක්‍රීඩකයින් දැඩි කෝපයට පත් කල සිදුවීමක්.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොසාම් හසන් පැවසුවේ තම කණ්ඩායමට දැඩි අසාධාරණයක් සිදු වූ බවයි.

ඔවුන්ට අවශ්‍ය වුණේ මෙසීව තරගාවලියේ තබා ගැනීමටයි යනුවෙන් ඊජිප්තු පුහුණුකරු බරපතල චෝදනාවක් සිදු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.