ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට සිය ක්‍රීඩාවෙන් සමුගන්නා අවස්ථාව සංවේදී අවස්ථාවක්.

ක්‍රීඩාවෙන් සමුගන්නා දිනයේම ක්‍රීඩා කළ කාලයේ තමන් අත්විඳි පීඩාවන් අනාවරණය කිරීමද සංවේදී අවස්ථාවක්.

එවන් සංවේදී අවස්ථාවක් ඕස්ටේ්‍රලියාවෙන් වාර්තා වනවා.

ඒ, එරටින් බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සමුගැනීමයි.

එහිදී ඔහු සිය ක්‍රිකට් ජීවිතයේ මුහුණදුන් වර්ගවාදී අපහාස සම්බන්ධයෙන් හෙළි කළේ සංවේදී වෙමින්.

උස්මාන් කවාජා යනු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පළමු මුස්ලිම් ජාතිකයායි.

ඔහු උපත ලැබුවේ පාකිස්ථානයේයි.

කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් පැවසුවේ තමා තවමත් වාර්ගික අපහාස සමඟ පොරබදමින් සිටින බවයි.

තමන් කිසි විටෙකත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා නොකරනු ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියා.

සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කළ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ මිනිත්තු 50ක හැඟීම්බර ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කවාජා පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන විට පවා තමාට වෙනස් ලෙස සලකනු ලැබූ බවයි.

මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් ද තමාට එරෙහිව අදහස් දැක්වූ බවත් තමාට මේ පිළිබඳ කතා කිරීමට අවශ්‍ය නොවුනු නමුත් ඊළඟ උස්මාන් කවාජාට මෙවැන්නක් සිදුවීම වැළැක්වීමට තමන්ට අවශ්‍ය වූ බවත් උස්මාන් කවාජා වැඩිදුරටත් පැවසුවා.