ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාලයේ ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරාහි සිදු වූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෝකප්‍රකට ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙල සාමාජිකයෙකු වන ඔහු පැඳවූ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් මෝටර් රථයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබෙනවා.

පෘතුගාලයේ ඩියෝගෝ ජෝටා, පසුගිය ප්‍රිමියර් ලීග් පාපන්දු කිරුල දිනූ ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක්.

නේෂන්ස් ලීගයේ අවසන් මහා තරඟයේදී පෘතුගාලය ජයග්‍රහණය කිරීමටද ඔහු සුවිශේෂී දායකත්වයක් දැක්වූවා.

ජාත්‍යන්තර පිටියේදී, ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49කදී ගෝල 14ක් රැස් කර තිබෙනවා.

ඩියෝගෝ, කලක් රූට් කාර්ඩෝසෝ සමග විවාහ ගිවිසගෙන සිටි අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටියා.

ඔහුගේ විවාහ මංගල්‍ය පැවැත් වුණේ පසුගිය ජුනි 22 වනදායි.

ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මෙම අනතුරට පැය කිහිපයකට පෙර වීම විශේෂත්වයක්.

ඩියෝගෝ ජෝටා මියයන විට 28 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සුපිරි පාපන්දු තරු මෙන්ම ක්‍රීඩා සමාජද සිය කනස්සල්ල පළ කර තිබෙනවා.