Clean Sri Lanka සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක Dream Destination වැඩසටහන යටතේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයෙන් නවීකරණ්‍ය කරන ලද පැරණි තල්පේ දුම්රිය ස්ථානය පොදු මගී ජනතාවගේ පරිහරණයට නිල වශයෙන් පත්කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා.

කොළඹ - මාතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාර්ය බහුල මෙන්ම අධික ජන ඝනත්වයක් සහිත සංචාරක කලාපයකට ස්ථානගතව පවතින තල්පේ දුම්රිය ස්ථානය උණවටුන සහ හබරාදූව උප දුම්රිය ස්ථානයන්ට මැදිව පිහිටා ඇත.

අගනුවර සිට කිලෝමීටර් 127 කට අධික දුරකින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු 2025 වසරේ සැප්තැම්බර් මස 02 වන දින ආරම්භ කළ අතර, සැළසුම් කළ පරිදිම මාස හතරකින් වැඩ නිම කිරීමෙන් අනතුරුව අද දින ජනතා පරිහරණයට පත්කිරීම සිදුවිය.

මගී ජනතාවගේ සුව පහසුව පිණිස දුම්රිය මග හරහා වේදිකා යා කරමින් පැවති මගී ගුවන් පාලම, වේදිකා වහල, නව ගබඩා කුටියක්, පෞරාණික බව සුරැකෙන විශේෂිත නිර්මාණයන් සහිත බිත්ති නිර්මාණ, ජල, විදුලි සහ ආරක්‍ෂිත කාමර පද්ධති ඇතුළු අංගයන් එක් කරමින් රුපියල් ලක්‍ෂ 550 ක Star Garment සමූහයේ මූල්‍ය පිරිවැයක් දරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක නවීකරණ කටයුතු සිදුවෙමින් පවතී.

නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට පත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා

‘අද රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය සේවාව ක්‍රියාත්මක වෙනවා. දුම්රිය නිදා සිටින යෝධයෙක්. පසුගිය කාලයේ දුම්රිය නිදාගත්තා. තවම නිදි. එම නිදා සිටි යෝධයා අවදි කරලා මගී ප්‍රවාහනයට පමණක් නොවෙයි භාණ්ඩ ප්‍රවාහනයටත් යොදා ගනිමින් ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබාගන්න කටයුතු කළ යුතු වෙනවා. දුම්රිය කර්මාන්තයක් විදියට වැඩි දියුණු කළ යුතුයි. බස් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යවලට වඩා දුම්රිය සේවය වෙනස් තත්ත්වයක්. පොදු ප්‍රවාහනයේ විශාල පංගුවක් දුම්රිය මගින් සිදු කෙරෙනවා. රට පුරා දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමේ අවශ්‍යතාව පවතිනවා. පසුගිය සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ගයන්ට බරපතල හානි සිද්ධ වුණා. ඒවා නැවත ගොඩ නගන්න අති විශාල ධනයක් රජය වැය කරනවා. ජනතාව හදපු ආණ්ඩුව විශ්වාසයෙන් රටේ දියුණුවට, සංවර්ධනයට කැපවෙනවා. මේ ආණ්ඩුව ජනතාවගේ නිෂ්පාදනයක්. හොරකම් නොකරන, අදූෂිත පාලනයක් ගෙනයන රජයක්. ව්‍යසනයක් වුණා කියලා සංවර්ධන කටයුතු නතර කරන්නේ නැහැ. ‘වැල් පාලමේ ඉන්නේ’ කිය කිය රටත්, දුම්රියත් වැල් පාලමේ තියන්නේ නැහැ.

දේශපාලන අධිකාරිය, වෘත්තිකයින්, ව්‍යසායකයින්, ජනමාධ්‍ය, රාජ්‍ය සේවකයින් ඇතුලු සැවොම එකමුතු වී මේ රට නැවත ගොඩනගමු, ගොඩනගන්න පුළුවන්. සිදුවූ ව්‍යසනයට වඩා දැවැන්ත මුදලක් තිබුණට වඩා හොඳ තැනකට ගේන්න වැය වෙනවා. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට වගේම රට ගොඩනගන්නට ජනතාව භේද නැතුව එකතුවෙලා. විවේචන, අඩුපාඩු පෙන්නන්න. ආණ්ඩුවට ගැහුවට කමක් නැහැ. ඒත් අපි කාගේත් රටට ඒදේ කරන්න එපා. දේශපාලනඥයින්ට, නිලධාරීන්ට කරන නිර්දය විවේචන රටට කරන්න එපා. සමහර ඒවා රටට වදිනවා. ඒවායින් වැටෙන්නේ ශ්‍රී ලංකාව.

සංවර්ධනයක්, දේශපාලනයත්, රට රැකගැනීමත් පටලවා නොගෙන අනාගතය වෙනුවෙන් රජය ගන්න නිවැරදි ක්‍රියාමාර්ගවලට සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.