සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 244කට දැවී ගියා.

ඒ, පන්දුවාර 49යි පන්දු 02කදීයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු හයකටයි. කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා.

නායකත්වයේ ඉනිමික් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු 123කට මුහුණ දුන් අසලංක හතරේ පහර 06ක් සහ හයේ පහර 04ක් සිය ඉනිමට එක් කළා.

චරිත් අසලංක මෙම තරගයේදී රැස් කළේ සිය පස්වන එක්දින ශතකයයි.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 47කට කඩුලු 04ක් දවා ගත්තා. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 245ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක එක්දින වරම් හිමිකර ගැනීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 217 වන ක්‍රීඩකයා ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම තරගයේදී එක්දින වරම් හිමිකර ගත්තා.

තන්වීර් ඉස්ලාම් සහ හොසේන් ඉමෝන් එම ක්‍රීඩකයින් දෙදෙනායි.