වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම ”ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර තිබෙනවා.
මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඔහු කියා සිටියා.
මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ විශේෂ සිව්පුද්ගල නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.
එම නියොජිත පිරිස ලබන 24 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් නවයටම පාර්ශවකරුවෙකු වූ රාජ්‍යයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සංචාරය හරහා ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම්වලට අනුකූල වීම ශක්තිමත් කිරීමට රජයට ඇති කැපවීම මනාව පිළිබිඹු වන බවයි පැවසුවේ.
එමෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්, යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය සතු නොසැලෙන කැපවීම ඔහු මෙහිදී නැවත වරක් ස්ථිර කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය මෙම අනුකමිටුව සමඟ විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයකින් කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම සියලු කටයුතු සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළා.



