මේ දිනවල ඊශ්‍රායලයේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එරට ජනගහන හා ආගමන අධිකාරියේ (Population and Immigration Authority-PIBA ) බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වන තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (2025.12.22) ඊශ්‍රායලයේ දි පවත්වන ලැබුවා.

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනිමට ගිවිසුම් අත්සන් කිරිමෙන් අනතුරුව පවත්වන ප්‍රථම තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන කමිටු රැස්විමද මෙය වනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස පාදක සාත්තු සේවා, කෘෂිකර්ම. ඉදිකිරීම්, හෝටල් ගෘහපාලනය හා පිරිසිදු කිරීමේ සේවා, නිෂ්පාදන හා අවන්හල් ආශ්‍රිත රැකියාවල පවතින ගැටලු හදුනාගෙන ඒ සම්බන්ධයෙන් හා එම ගැටලුවලට ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

තවද එම රැකියා සම්බන්ධයෙන් පසුගිය ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරුණා.

මෙයට අමතරව ඊශ්‍රා‍ලයේ පවතින නව රැකි අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමත් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එරට ජනගහන හා ආගමන අධිකාරියේ නිලධාරීන් සමග පුලුල්ව සාකච්ඡා කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් රැකියා වැඩි වශයෙන් ලබාගැනිම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කර තිබෙනවා.

එසේම සේවා ආශ්‍රිත රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ විදේශ සේවක පරිපාලන ප්‍රධානි මොෂේ නකාෂ් (Moshe Nakash) ගිවිසුමට අත්සන් තැබුහ.

මෙම අවස්ථාවට ඊශ්‍රායල් ජනගහන හා ආගමන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොෂේ නකාෂ් (Moshe Nakash), ඇතුලු උසස් නිලධාරින් හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ අතිරේක සාමාන්‍යාධිකාරි ඒ.කේ.යු රෝහන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියා.