දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පලෙයි නගරය ආසන්නයේදී යාපනය දෙසට ධාවනය වූ ටිපර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී එක් අනතුරක් සිදුව ඇති බවයි.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 64 වියේ පසුවූ සෝරම්පත්තු ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අනතුරට සම්බන්ධ ටිපර් රථෙය් රියැදුරු අත්අඩංගුවට ගත් බවයි පලෙයි පොලිසිය පැවසුවේ.

මේ අතර වාරියපොල, පාදෙනිය අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයේදී පාදෙනිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික පුද්ගලයා තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම පදික පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි වාරියපොල පොලීසිය පැවසුවේ.

මේ අතර පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළි ගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී පැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 16 ක් වූ ඔහු හංවැල්ල, තුන්නාන, ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පාදුක්ක පොලීසිය පැවසුවේ.

හොරණ බුලත්සිංහල මාර්ගයේ දියපරැල්ල හන්දිය අසලදී හොරණ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 18 ක් වූ ඔහු මහගම, සෞම්‍යගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ වෑන් රථෙය් රියැදුරා අත්අඩංගුවට ගත් බවයි බුලත්සිංහල පොලිසිය පැවසුවේ.

මේ අතර යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ තවත් අනතුරකින් තරුණයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එගොඩඋයන, මෝදර වටරවුම ආසන්නයේදී පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් දකුණු පසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි යතුරුපැදියක් එම ත්‍රීරෝද රථෙය් ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඔහු වයස අවුරුදු 19 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගත් බවයි එගොඩඋයන පොලිසිය පැවසුවේ.