ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පැවති අසනීප තත්වය හේතුවෙන් නාරහේන්පිට ආසිරි රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ලෝක බැංකු සමූහයේ සාමාජික අන්තර්ජාතික මූල්‍ය සමූහයේ (IFC) ප්‍රාග්ධන අලෙවිකරණ අංශයෙහි උපදේශකයෙකු සහ සණස සංවර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂකවරයකු ලෙස තම වෘත්තිය ජීවිතය ගත කළ මෙතුමා නව රජය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් කටයුතු කළේය. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන සමයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම් හා දූෂණ නැවැත්වීමට සුවිශේෂී කාර්යයක් සිදුකර අතර යල් පැන ගිය නීති රෙගුලාසි වෙනුවට නව නීති සකස් කිරීමටත් මෙම කර්මාන්තය නව්‍යකරණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමටත් අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. විදේශිකයන් වෙනුවෙන් වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම වෙනුවෙන්ද එතුමා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන ලදී. එතුමාගේ අවසන් කටයුතු හෙට (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර ඥාති හිතමිත්‍රාදීන්ට අවසන් ගෞරව දැක්වීමට හෙට උදෑසන 9.30 සිටි ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කරනු ඇත. එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් ඥාතීන් හා හිතවතුන් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ශෝකය මෙසේ ප්‍රකාශ කර සිටිමු.