ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
කෙසේවෙතත් හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුල සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
එහෙත් නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් බොහෝ රෝහල් පාළුවට ගොස් ඇති බවයි.
වෙනත් දිනවල දෛනික සායන හේතුවෙන් උදැසන සායන රෝගීන් හා බාහිර රෝගීන්ගෙන් පිරී යන රෝහල අද උදැසන හිස්ව තිබූ අයුරු දක්නට ලැබුණු බවයි ඔවුන් පැවසුවේ.
සායන වෙත පැමිණි රෝගීන් පවා පවසා ඇත්තේ වැඩ වර්ජන හේතුවෙන් සායන නොමැති බවට රෝහල් සේවකයින් සඳහන් කළ බැවින් ආපසු හැරී යාමට සිදුවූ බවයි.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
අද පෙරවරු 08.00ට දිවයින පුරා රෝහල් රැසක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය පැය 48ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.




