මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කරමින්.

කොල්කටා ඊඩ්න්ස් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 226ක් රැස් කළා.

හෙන්රික් ක්ලාසන් පන්දු 35කදී ලකුණු 52ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින්. අභිෂේක් ෂර්මා පන්දු 21කදී ලකුණු 48 ක් සහ ට්‍රැවිස් හෙඩ් පන්දු 21කදී ලකුණු 46ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

ඇන්ක්‍රිට් රගුවන්ෂි පන්දු 29කදි ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදි ජාදෙව් උනාද්කට් ලකුණු 21කට කඩුළු 3 ක් දවා ගත්තා.

මේ අතර මෙවර තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂන්ට පැවරීම තවමත් බොහෝ දෙනෙකු අතර කතා බහට ලක් වන කරුණක්.

මේ දක්වා සන්රයිසස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක පැට් කමින්ස්.

කමින්ස් වෙනුවට ඉෂාන් කිෂන් පත් කිරීම සම්බන්ධයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පැට් කමින්ස් නොමැතිවීම සිය කණ්ඩායමට හොදම පන්දු යවන්නෙකු මෙන්ම හොදම නායකයෙකු අහිමිවීමක් බවයි.

කෙසේවෙතත් පැට්ස් කමින්ස් සන් රයිසස් කණ්ඩායමේ සංචිතය සමග සිට ප්‍රධාන නායක්තවයේ තීරණවලට සම්බන්ධ වී සිටින බවයි ඩැනියෙල් විටෝරි පවසා ඇත්තේ.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩැනියෙල් විටෝරි වැඩිදුරටත් පවසා ඇත්තේ ඉෂාන් කිෂන්ට නායකත්වය පැවරීම දණාත්මක කරුණක් බවයි.

මෙවර අයි පී එල් තරගාවලියේ පළමු තරගයේදීම ඉෂාන් කිෂන්ගේ සාර්ථකත්වය දැකගත හැකි වූ බව විටෝරි පෙන්වා දී තිබෙනවා.

එම තරගයේදී ඉෂාන් කිෂන් පන්දු 38 කදී ලකුණු 80ක් රැස් කළා.

කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමග පැවති එම තරගයෙන් සන් රයිසස් කණ්ඩායම පරාජයට පත් වුණා.

ඉෂාන්ගේ නායකත්වය ගැන තමන්ට කිසිදු සැකයක් නොමැති බවත් ඔහු සන්රයිසස් කණ්ඩායමට සිටින ඵලදායි නායකා බවත් සන්රයිසස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් පවසා තිබෙනවා.