කල්පිටිය, ගුවන් හමුදා වෙඩි පිටියේදී ගුවන් හමුදාව සහ පොලීසිය අතර ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ප්‍රශ්නගත අවස්ථාවේදී සිදුවූයේ කුමක් දැයි ද විස්තර කරමින්.
කල්පිටිය වෙඩි පිටියේදී ඉකුත් 17 වනදා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් සිදු කෙරුණු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
මෙම අභ්‍යාසය සිදු කරමින් තිබියදී පුර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පිටස්තර පුද්ගලයින් තුන් දෙනෙකු වෙඩි පිටියට අයත් ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇති බවයි ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
එහිදී රාජකාරියේ යෙදි සිටි ගුවන් හමුදා සාමාජිකයන් 7 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු, පැමිණි පිටස්තර පුද්ගලයින්ගෙන් ඔවුන්ගේ අනන්‍යතාව පිළිබද ප්‍රශ්න කර තිබෙනවා.
පැමිණි එක් අයෙකු තමන් පොලිස් නිලධාරියෙකු බවත් අනෙක් දෙදෙනා ඔහු සමග පැමිණි සිවිල් පුද්ගලයන් බවත් එහිදී ප්‍රකාශ වී ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
දෙපාර්ශවය අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේද පිටස්තරයෙන් පැමිණි පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කළ මෙම ප්‍රශ්න කිරීමේදීයි.
බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් සිදුවන අවස්ථාවේදී වෙඩි පිටියේ ආරක්ෂක කලාපයට ඇතුළුවීම සිවිල් පුද්ගලයින්ට තහනම් වනවා.
එවැනි තහනමක් පනවනු ලැබ ඇත්තේ පැමිණෙන පුද්ගලයන්ගේම ආරක්ෂාව සදහා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
ඒ අනුව ඉකුත් 17 වනදා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් සිදුවන අවස්ථාවේදී පිටස්තරයෙන් පැමිණි පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ද ඔවුන්ගේම ආරක්ෂාව සදහා සහ අනතුරු වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කළා.
කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ තොගයක් වෙඩි පිටිය පරිශ්‍රයේ සඟවා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් සදහා පොලීසිය එහි ගිය බව මීට පෙර ප්‍රකාශ වුණා.
මෙම විමර්ශනයේදී සගවා තිබූ කහ, සබන් සහ ෂැම්පු පැකට් තොගයක් සොයාගත් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඉන්දියාවේ සිට හෝ වෙනත් රටවල සිට මුහුදු මගින් නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය හෝ වෙනත් භාණ්ඩ රැගෙන ඒමේ ජාවාරම කල්පිටිය ආශ්‍රිතව කලක් තිස්සේ සිදුවන බවට තොරතුරු තිබෙනවා.
මෙම ජාවාරම් සදහා පොලීසියේද සහාය ලැබෙන බවයි ඉකුත්දා මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා හමුවූ අවස්ථාවකදී කල්පිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ද පවසා ඇත්තේ.
පසුව කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සෙසු සියලු නිලධාරීන් ස්ථාන මාරු කිරීමටද පියවර ගැණුනා.




