ලෝක වෙළඳපොළේ ඉහළ යමින් පවතින ඉන්ධන මිල ගණන් පාලනය කිරීම සඳහා බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100 ක් වෙළඳපොළට මුදාහැරීමට ජී-7 (G7) සමුළුවට අයත් බලවත් රටවල් එකඟතාව පළ කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ ඉන් විශාල ඩීසල් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එම රටවල් ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ (IEA) සම්බන්ධීකරණය යටතේ ඉදිරි මාස 04 ඇතුළත මෙම තොග වෙළඳපොළට මුදාහැරීමට නියමිතයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය යන රටවල් මෙලෙස ඉන්ධන තොග නිදහස් කිරීමට එක්ව සිටිනවා.

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ඩීසල් අපනයනය තහනම් කිරීමට තර්ජනය කර තිබූ අතර, යුරෝපීය රටවල් සිය සංචිත වෙළඳපොළට මුදාහැරීමට එකඟ වීමත් සමඟ එම තීරණය හකුලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානය සමඟ ඇතිවූ යුධමය තත්ත්වය හමුවේ මීට පෙර ඩොලර් 73 ක්ව පැවති බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ඉහළ ගියා.