සම්බුදු තෙමඟුල සිහි කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ පිංකම් අද දවස පුරා සංවිධාන කර තිබෙනවා.

එමෙන්ම සෑම වෙහෙර විහාරස්ථානයකම අද උදැසන සිට සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතව සිටිනවා.

ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අඨමස්ථානය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, කොළඹ ගංගාරාම විහාරස්ථානය, කැළණිය රජමහා විහාරය, බෙල්ලන්විල රජ මහා විහාරය, කළුතර බෝධිය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්ථානවලට සැදැහැවතුන් පැමිණෙමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරනු ලබන ශ්වේත පූජා වැඩසටහන බලංගොඩ, කූරගල රජමහා විහාරස්ථානයේදී අද උදෑසන 6ට ආරම්භ කෙරුණා.

ඒ අනුව හෙට දින පහන්වන තුරු විවිධ පිංකම් රැසක් එම විහාරස්ථානයේදි පැවැත්වෙනවා.

මේ අතර නේත්‍රාලෝක වෙසක් කලාපය ද අද සහ හෙට බලංගොඩ, කූරගල රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මකයි.