ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ඩුබායි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී තරඟ වැදුනේ ‘බී’ කාණ්ඩයෙන්. දෙරට අතර මූලික වටයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 06ක පහසු ජයක් වාර්තා කළා. මේ අතර සිය පියාගේ අභාවය සැලවීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද උදෑසන යළි ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි. ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන සුපිරි හතර වටයේදී ඔහු ශ්‍රී ලංකා සංචිතය හා එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවයි. අද දිනයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් පසු, ශ්‍රී ලංකාවේ ඊළඟ සුපිරි වටයේ තරග දෙක සැප්තැම්බර් 23 වන දින පාකිස්තානයට එරෙහිව සහ සැප්තැම්බර් 26 වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වෙනවා.