කැනඩාවෙන් පසු දැන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ද ලැව්ගිනි තර්ජනය තවත් බරපතල වී තිබෙනවා.

ප්‍රංශයේ ගිරොන්ඩේ කලාපයේ හටගත් දැවැන්ත ලැව්ගින්න, එරට ප්‍රධාන නගරයක් වන බෝර්ඩෝ නගරයට කිලෝමීටර් 15ක් තරම් ආසන්නයට පැමිණ තිබෙන බවයි බීබීසී ප්‍රවෘත්ති සේවය කියා සිටියේ.

බෝර්ඩෝ නගරයේ නගරාධිපති තෝමස් කැසනව් පවසන්නේ, ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් සිටින බවයි.

තවත් ජනතාව ඉවත් කිරීමට සිදු වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය පහසුකම් සූදානම් කර තිබෙන බව ඔහු පැවසුවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශය මුහුණ දෙන දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියා සිටියේ.

මීට පෙර නොතිබූ අන්දමේ විශාල හානියක් සිදු වෙමින් පවතින බව ද ඔහු කියා සිටියා.

දැඩි උෂ්ණත්වය සහ තද සුළං හමුවේ ගිනි නිවන හමුදාවට පාලනය කරගැනීමට පවා නොහැකි ලෙස ලැව් ගිනි පැතිර යමින් පවතිනවා. මේ වන විටත් ප්‍රංශයෙන් පුද්ගලයින් දෙලක්ෂ විසිදහසක් (220,000) පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර, හෙක්ටයාර් 42,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී, නිවාස 240කට වැඩි ප්‍රමාණයක් අළු වී ගොස් අවසන්.

මේ අතර ස්පාඤ්ඤයේ ද තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබෙනවා. මැඩ්රිඩ් නගරයට බටහිරින් හටගත් දරුණු ලැව්ගිනි පාලනය කරගත නොහැකි ලෙස පැතිර යාම නිසා එරට ද පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි බීබීසී වාර්තාවෙහි දැක්වෙන්නේ.

ස්පාඤ්ඤය මේ වන විට ජාතික හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රංශ බලධාරීන් පවසන්නේ වාර්තා වන ලැව්ගිනි 10කින් 9ක්ම මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා හටගත් ඒවා බවයි.

නොසැලකිලිමත් ලෙස සිගරට් කොට අතහැරීම සහ එළිමහන් ආහාර පිසීම් මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපා මහද්වීපයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම ලැව්ගිනි මෙලෙස දරුණු ලෙස පැතිර යාමට තවත් හේතුවක් බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.