ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත ආශා බෝස්ලේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

එසේ තිබියදී ඇගේ අභාවය සිහිකරමින් ෂඡඛ පිටිය ද ඊයේ මොහොතකට නිහඬ වුණා.

ඒ මුම්බායි ඉන්ඩියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදීයි.

තරගය ආරම්භ වීමට පෙර දෙපිලේම ක්‍රීඩකයින් සහ නිලධාරීන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමින් අභාවප්‍රාප්ත ආශා බෝස්ලේ වෙනුවෙන් ගෞරවය පළ කළා.

ආශා බෝස්ලේ අභාවය සම්බන්ධයෙන් සංවේගය පළ කිරීම සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ තරගයට සහභාගි වූයේ අත්වල කළු පටි පැළඳගෙනයි.

මේ අතර ආශා බෝස්ලේගේ අභාවය සම්බන්ධයෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ද ශෝක සටහනක් පළ කර තිබෙනවා.

"ආශා බොස්ලේ අපට පවුලේ කෙනෙක් වගෙයි. ඇයගේ හඬ අපගේ හදවත් තුළ සදාකාලිකව රැඳෙනු ඇති” ලෙස එහි සඳහන්.

විරාට් කෝලි ඇතුළු තවත් ඉන්දීය ක්‍රිකට් තරු රැසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට සිය අවසන් ගෞරවය පුද කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මීට පෙර ආශා බෝස්ලේගේ අභාවය සම්බන්ධයෙන් කණගාටුව පල කළා.

අසනීප තත්ත්වයෙන් පසුවූ ආශා බෝස්ලේ, අභාවප්‍රාප්ත වුණේ මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4ට මුම්බායිහි ශිවාජි පාර්ක්හිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රකට ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරිය වූ ආශා බෝස්ලේ, භාරත රත්න සහ පද්ම විභූෂණ වැනි ඉහළම සිවිල් සම්මානවලින් මෙන්ම ග්‍රැමී සම්මාන නිර්දේශයන්ගෙන්ද පිදුම් ලැබූ තාරකාවක්.

ඇය විසින් ගායනා කරන ලද ගීත සංඛ්‍යාව 12, 000ට අධිකයි.

ශ්‍රී ලාංකික ගායන ශිල්පීන් වන භාතිය සහ සන්තුෂ් සමගද ඇය නිර්මාණ සඳහා දායක වුණා.