මත්ද්‍රව්‍ය ජාවාරම්වල සහ අපරාධකරුවන් ආරක්ෂා කරන පොලිස් නිලධාරින් අතලොස්සක් සිටින බවත් ඔවුන් එම පැරණි පුරුදු අත්නොහරින්නේ නම් ස්වෙච්ඡාවෙන් පොලිසියෙන් ඉවත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ව්‍යවසනය සහ සංවිධානාත්මක අපරාධ මෙරටින් තුරන් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දක්වන අතලොස්සක් වන නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. මේ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එහිදී කියා සිටියේ විවිධ විෂමාචාරවලට සම්බන්ධ පොලිස් නිලධාරින් 338 දෙනෙකුට එරෙහිව මෙම වසර තුළදී විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.