ඊශ්‍රායලය ආරක්‍ෂා කිරීමට උදව් කළහොත් මැදපෙරදිග කලාපයේ බි්‍රතාන්‍ය, අමෙරිකා සහ ප්‍රංශ කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඒ, මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති යුද උණුසුම තවත් තීව්‍ර කරමින්.

ඊයේ දිනයේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන් ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දෙපාර්ශවය අතර යුද ගැටුම් උත්සන්න වී තිබෙනවා.

ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ඨික විද්‍යාඥයින් 09 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉරානයේ ආරක්‍ෂක අංශ අනාවරණ කර ඇත්තේ.

මීට පෙර ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ න්‍යෂ්ඨික විද්‍යාඥයින් 06 දෙනෙකු ඝාතනය කළ බවයි.

එමෙන්ම එස්ෆහාන් සහ නටාස් යන න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට සිය ප්‍රහාරවලින් සැලකිය යුතු ප්‍රහාර එල්ල වී ඇති බවද ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ඉරානයේ ඉලක්ක 150කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල ආරක්‍ෂක අංශ ප්‍රධානියෙකු පවසා ඇත්තේ.

ඉරානයේ තර්ජන ඉවත් කිරීම සඳහා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියද පවසා ඇත්තේ සිය ප්‍රහාර සිකුරාදා රාත්‍රියෙන් අවසන් නොවන බවයි.

ඉදිරි දිනවලදී ඉරාන කලාපයේ අමෙරිකානු කඳවුරුද ඉලක්ක කරන බව ඉරාන බලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.