එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

ඒ අනුව පිටියට පැමිණි ඉන්දීය කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 142ක් ලබා ගෙන සිටියා.

මේ අතර පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙන්, මෙම තරඟයේ දීද ඉන්දු - පකිස්ථාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියා.

ආසියානු කුසලාන විස්සයි 20 පිරිමි ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දීය හා පාකිස්තාන නායකයන් තරඟාවලිය පුරාම අතට අත දීමෙන් වැළකී සිටි අතර, එය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වුණා.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රවීන විචාරකයින් මත පළ කරමින් කියා සිටියේ එය ක්‍රිකට් ජීව ගුණයට හානි සිදු වන ක්‍රියාවක් බවයි.