ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගයෙන් අනාවරණ කළා. එලෙස අනාවරණ කළ තොරතුරු පහතින්.....
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් තියෙනවා. ඒ අතරතුරේ තමයි නීතිඥ සංගමය ජනාධිපතිවරයාව මුණගැහුණේ. ජනාධිපතිවරයාව මුණගැහැච්ච මේ සාකච්ඡාව ලොකු කතාබහක් ඇති කරපු සිද්ධියක් බවට පත් වුණා. ඒකට හේතුව ආණ්ඩුවේ ස්ථාවරයට දැඩිව විරෝධය පළකරන කණ්ඩායම් බවට නීතිඥ සංගමය පත් වෙලා තියෙන නිසා.
ජනාධිපතිවරයාව හම්බවෙන්න කට්ටිය ගියා. නීතිඥ සංගමයේ ඉහළ පෙළේ සාමාජිකයෝ බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වෙලා හිටියා. හැමෝම ගිහිල්ලා ජනාධිපතිවරයා එනකන් ඉදගෙන හිටියා. මුලින්ම අදහස් දක්වන්න පටන් ගත්තේ නීතිඥ උපුල් ජයසූරිය.
"ජනාධිපතිතුමා, මේකේ කිසිම සද්භාවයක් නැහැනේ. මේක ගෙනාවොත් ඔබතුමාටත් අකුලාගෙන ගෙදර යන්න තමයි වෙන්නේ. ජනමත විචාරණයක් ආවත් ඒකම තමයි වෙන්නේ."
ඕක අහපු වෙලාවේ ජනාධිපතිවරයා නිකන් කටකොනින් හිනාවෙලා මුකුත් උත්තර දීලා නැහැ. ආයේ උපුල් ජයසූරිය නීතිඥවරයා කතා කරන්න පටන් ගත්තා.
"කවුද ඔබතුමාට මේකට උපදෙස් දුන්නේ? කවුද නීති විශාරදයෝ? කවුද විද්වතුන්? මේක කරන්න එපා ජනාධිපතිතුමා, මේකේ කිසිම සද්භාවයක් නැහැ. මේක කළොත් එහෙම ඔබතුමාලට තේරුමක් නැති වැඩක් වෙනවා. ඔබතුමා ජනතාවට පොරොන්දු වෙච්ච විදිහට සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. අපි සූදානම් මේකට උදව් කරන්න. නැතුව මේ කෑලි කෑලි ගේන්න එපා."
උපුල් ජයසූරිය එහෙමයි කතාව පටන් ගත්තේ. මේකට සාවිත්‍ර ගුණසේකර සහ ජෙෆ්රි අලගරත්නම් කියන නීතිඥවරුත් උපුල් ජයසූරියගේ මතයට කතා කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ පැත්තේ ඉඳගෙන හිටියේ දෙන්නයි. එක්කෙනෙක් නීතිඥ හර්ෂණ නානායක්කාර, අනිත් එක්කෙනා ජේ.එම්. විජේබණ්ඩාර. කොහොමහරි ජනාධිපතිවරයා මේ ඔක්කොම කියන දේවල් අහගෙන සාවධානව ඉඳලා තියෙනවා. බොහොම වැදගත් විදිහට ජනාධිපතිවරයා අන්තිමට කතා කරලා තියෙනවා.
"මේකයි මට කියන්න තියෙන්නේ. මාව විශ්වාස කරන්න. මම වැරැද්දක් කරන්නේ නැහැ."
ජනාධිපතිවරයා කතාව ඉවර කළා.
සජිත් ප්‍රේමදාස දැන් වෙනස් වෙලානේ. බලන්නකෝ, විපක්ෂයේ අයම හරිම කැමතියි දැන් සජිත් ප්‍රේමදාසට. විපක්ෂයේ අය එක දවසක මේ රැස්වෙච්ච වෙලාවක මෙහෙම කිව්වා:
"හිටියාට වඩා දැන් මාර පොසිටිව් ඈ. මොකක් හරි වැඩක් කිව්වත් අපිට හොඳ ප්‍රතිචාර දක්වනවා. අලුත් කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. අලුත් විදිහට වැඩ කරනවා. ඉතින් අපිටත් හොඳයි."
විපක්ෂයට පොඩි වෙනස් වැඩක් කරන්න පුළුවන් නායකයෙක් බවට සජිත් ප්‍රේමදාස ටිකෙන් ටික වෙනස් වෙමින් ඉන්නවා. මෙහෙම කියලා තියෙන්නේ අපි නෙමෙයි, විපක්ෂයේ කට්ටියම තමයි.
මේ දවස්වල දේශපාලන භේදයකින් තොරව හැමෝම කැමති ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ආණ්ඩුවේ වැඩක්. ඒ තමයි මෙට්‍රෝ බස් (Metro Bus). මෙට්‍රෝ බස් නිසා ආණ්ඩුව ගොඩගියා කියලා තමයි විපක්ෂයේ කට්ටියත් කියන්නේ. මේ මාසේ, ලබන මාසේ වගේ වෙද්දී තවත් මෙට්‍රෝ බස් 100ක් විතර පාරට දාන්න තමයි දැන් ප්ලෑන් එක.
මාර්ග 07ක අලුතින් බස් දුවනවා. අලුත් ඩිපෝ හැදෙනවා. එතකොට එක එක මාර්ගවලට වෙන වෙන පාට තියෙනවා. බස් එක එන විදිහ බලාගන්න පුළුවන්, එන ක්‍රමය බලාගන්න පුළුවන්, මේ ඔක්කොම තියෙනවා. දෙසැම්බර් වෙද්දී බස් 170ක් පාරේ දුවන්න තමයි ප්ලෑන් එක.
ආණ්ඩුව ප්ලෑන් කරලා තියෙනවා තවත් මේක ව්‍යාප්ත කරන්න. ඒ අනුව ලබන අවුරුද්දේ ප්ලෑන් කරලා තියෙනවා තවත් බස් 100ක් ගේන්න. මේකට අමතරව චීනයෙන් EV බස් (විදුලි බස්) දෙන්නත් දැන් ලෑස්ති කරලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක එන්නේ හැබැයි 2027දී. ජපානෙනුත් බස් 08ක් එනවා. ජනවාරිවල තමයි චීන බස්වලින් 25ක් මුලින්ම එන්න නියමිතව තියෙන්නේ.
දැන් EV බස් ආවට වැඩක් නැහැනේ, EV චාජින් සෙන්ටර් (Charging Centers), ඩිපෝ වෙනම හදන්න ඕනේ. ඉතින් 2027දී මෙට්‍රෝ බස් EV වලින් දුවන්න අවුරුද්ද කියලා තමයි මේ ප්ලෑන් එකේ ඉන්න කට්ටිය කියන්නේ. ඒකට අලුතින් ඩිපෝ හැදෙනවා, චාජින් පොයින්ට් හැදෙනවා. ඔය ඔක්කොම ටික වෙද්දී 2027 මැයි, ජූනි වගේ වෙයි. කොළඹ ඔය අතරින් EV ඩිපෝ හැදෙනවා. කොළඹ EV බස් 25ක් විතර තමයි දුවන්නේ, ඉතුරු බස් 75ම නුවරට යනවා. ඊටපස්සේ EV බස් යන්නේ නුවර ඉඳන්. මේ ඔක්කොම වැඩේ ලස්සනට යනවා. ඒ වගේම තමයි මෙට්‍රෝ බස්වලින් හොඳ ලාභයක් උපයනවා කියලා තමයි තිරේ පිටුපසින් වාර්තා වෙන්නේ.




