පානදුර, හිරණ, මාලමුල්ල ප්‍රදේශයේ අද අළුයම සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය සිද්ධියෙන් මියගිය පුද්ගලයා නොව වෙනත් අයෙකු බවයි.
වෙඩි ප්‍රහාරයේ ඉක්කය වී ඇත්තේ ‘කුඩු සලිඳු’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ හිතවතෙකුගේ ඥාතියෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව කුඩු සලිඳු සහ මෙම පුද්ගලයා අමනාප වී තිබෙනවා.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබූ පුද්ගලයා කුඩු සලිඳු සමඟ අමනාපයක් ඇති කරගත් පුද්ගලයාගේ මස්සිනා බවයි පැවසෙන්නේ.
ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතත් ඉන් බේරී ඇති මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
පසුව ටී-56 ගිනි අවියක් අතැතිව සිටි වෙඩි තැබූ පුද්ගලයාට අසල සිටි පුද්ගලයෙකු ගලකින් පහරදී ඇති බවයි මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ.
ඉන් අනතුරුවයි වෙඩික්කරු එම පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ.
වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචි කසුන් හරිස්චන්ද්‍ර නැමති 35 හැවිරිදි පුද්ගලයෙක්. මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
ඔවුන් දෙදෙනාම කිසිදු පාතාල හෝ සංවිධානාත්මක අපරාධයකට සම්බන්ධ නොමැති බවටයි හෙළි වී ඇත්තේ.
සාදයක් පැවැත් වූ නිවසකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
වෙඩි තැබීමෙන් අනතුරුව යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා පලා ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය ආරවුලක් මූලික කොටගෙන මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
වෙඩි තැබූ පුද්ගලයින් සොයා හිරණ පොලිසිය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.